ඉන්දියානු සාගර කලාපයේ නාවික නිදහස තහවුරු කරමින් ශ්‍රී ලංකාව
නාවික වාණිජ කේන්ද්‍රස්ථානයක් බවට පත් කරනවා - ජනපති

සැප්තැම්බර් 14, 2022

ඉන්දියානු සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු කරමින් ලෝකයට විවෘත කර, බලගතු ආසියාවක් නිර්මාණය කිරීමට සැලසුම් සකස් කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ඉන්දියානු සාගර කලාපයේ නාවික නිදහස තහවුරු කරමින් ශ්‍රී ලංකාව නාවික වාණිජ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරිමට කටයුතු කළ යුතු බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අද (14) පස්වරුවේ පැවති ජාතික ආරක්ෂක විද්‍යායතනයේ උපාධි ප්‍රදානෝත්සවය අමතමිනි.

ජාතික ආරක්ෂක විද්‍යායතනය වෙත ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හරසරින් පිළිගැනුණු අතර ජනාධිපතිවරයා විද්‍යායතනයේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.

අනතුරුව විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබීය.

උත්සව සභාව තවදුරටත් ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ අපට හොඳ ආරක්ෂක පද්ධතියක් නැතිවුවහොත් අපේ අනාගතය විනාශ වී ලෝක තත්ත්වය සහ භූ දේශපාලනය ඉතා අයහපත් අතකට හැරෙන බවයි. එය රටකට යහපත් නොවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රටක් වශයෙන් 2030 ආරක්ෂාව පිළිබඳ දැඩි අවධානය යොමු කර තිබෙන බව ද පැවසීය.

ත්‍රිවිධ හමුදාව, පොලිසිය හා රාජ්‍ය අංශයේ ඉහළ තනතුරු දරන විධායක නිලධාරීන්ට ජාතික ආරක්ෂාව හා ක්‍රමෝපායික අධ්‍යයනය සම්බන්ධයෙන් අධ්‍යාපනය ලබාදීමේ අරමුණින් මෙරට ස්ථාපිත ප්‍රථම හා උසස් අධ්‍යයන හා පර්යේෂණ ආයතනය මෙයයි.

ජාතික අවශ්‍යතා තහවුරු කිරීම සඳහා ජාතික ආරක්ෂාව, රාජ්‍ය තාන්ත්‍රිකභාවය හා රාජ්‍ය ප්‍රතිපත්ති අංශයන්හි උපායමාර්ගික චින්තකයින් සහ නායකයින් බිහි කිරීම “ජාතික ආරක්ෂක විද්‍යාතනයේ මෙහෙවර ලෙස සැලකේ.

2021 වසරේ ආරම්භ කෙරුණු ජාතික ආරක්ෂක විද්‍යායතනයේ ප්‍රථම උපාධි ප්‍රදානෝත්සවය මෙය වන අතර අධ්‍යයන ආයතනයේ අවශ්‍යතා සම්පූර්ණ කළ විද්‍යාර්ථයින් 31 දෙනෙකුට උපාධි ප්‍රදානය කිරීම ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් (විශ්‍රාමික) ජෙනරල් කමල් ගුණරත්න, යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, ගුවන් හමුදාපති එයාර් මර්ෂල් සුදර්ශන පතිරණ, පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න, ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආර්. එම්. බී. එස්. රත්නායක, ජාතික ආරක්ෂක විද්‍යායතනයේ සේනා විධායක මේජර් ජෙනරල් අමල් කරුණාසේකර, ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සංජීවනී වීරසේකර යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අනුග්‍රහය - ජනාධිපති මාධ්‍ය අංශය