නව ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් ආරක්‍ෂක ලේකම් හමුවෙයි

සැප්තැම්බර් 16, 2022
  •    ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර ආරක්‍ෂක සහයෝගීතාව තවදුරටත් වැඩිදියුණු කිරීමට සැලසුම්.

ශ්‍රී ලංකාවට අලුතින් පත් වූ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් අතිගරු පෝල් ස්ටීවන්ස් මැතිතුමා අද (සැප් 16) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.

අද උදෑසන ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත පැමිණි නව ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා ආරක්‍ෂක ලේකම් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු සහ සයිබර් ආරක්‍ෂක අමාත්‍ය ගරු ක්ලෙයාර් ඕ’ නීල් මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට පහසුකම් සැලසීම සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශය කළ කාර්යභාරය පිළිබඳව ඔස්ට්‍රේලියානු රජය වෙනුවෙන් ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා කෘතඥතාව පළ කළේය.

ආරක්‍ෂක ලේකම් ජෙනරල් ගුණරත්න මෙරටට පැමිණි නව තානාපතිවරයා පිළිගනිමින් කියා සිටියේ දෙරට අතර සමීප සබඳතා පවතින බවත් නව තානාපතිවරයා සමඟ සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් ය.

ආරක්‍ෂක සහයෝගීතාව තවදුරටත් වැඩිදියුණු කිරීම, පුහුණු අවස්ථා සහ ඒකාබද්ධ නාවික අභ්‍යාස පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධීකරණ නිලධාරී මේජර් ජෙනරල් දිනේෂ් නානායක්කාර සහ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කපිතාන් ඉයන් කේන් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.