රන් අස්වනු නෙලීමේ මංගල්‍යය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්

සැප්තැම්බර් 16, 2022

ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානය අසල අක්කර 12 ක භූමි ප්‍රමාණයක අස්වැද්දූ කුඹුරු යායේ වී අස්වනු නෙලීමේ ‘රන් අස්වනු නෙලීමේ මංගල්‍යය’ අද (16) දින සම්ප්‍රදායානුකූල චාරිත්‍ර සහ ආගමික වතාවත් වලට මුල්තැනක් දෙමින් සිදුකරනු ලැබූ අතර, එම උත්සවය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

යුද්ධ හමුදා භටපිරිස් විසින් මීට මාස කිහිපයකට පෙර ආරම්භ කරන ලද ‘තුරු මිතුරු-නව රටක්’ ආහාර භෝග වගා ව්‍යපෘතියට සමගාමීව යුද්ධ හමුදා මූලස්ථානය අසල පුරන්වී තිබූ කුඹූරු යාය ‘මහ’ කන්නය ඉලක්ක කර ගනිමින් වී වගාව සඳහා සීසාන ලදී.

2019 දෙසැම්බර් 30 වන දින ආරම්භ කරන ලද ‘තුරු මිතුරු - නව රටක්’ ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ නව යුද්ධ හමුදා මූලස්ථානය අසල ඇති මාර්ගය දෙපස කිලෝමීටර 1.7 ක පමණ දුර ප්‍රමාණයක අරලිය පැළ 170 ක් රෝපණය කරන ලදී.

අනතුරුව, 2020 ජනවාරි 14 වන දින එම ව්‍යාපෘතියේ 2 වන අදියර වශයෙන්, යුද්ධ හමුදා මූලස්ථානය අසල ඇති අක්කර 12 ක පුරන් වී තිබූ කුඹුරු යාය සීසාමින් වී වැපිරීමට සුදුසු තත්ත්වයට පත්කරන ලද අතර, ඒ අසල ඇති මාර්ගයේ මී, කොබෝනිල, කරඳ, යනාදී පැළ 140 ක් ද රෝපණය කරන ලදි. පසුව 2020 ජනවාරි 24 වන දින භටපිරිස් විසින් දුර්ලභ ගණයේ BG 366 වර්ගයේ රතු සම්බා බීජ වී වැපිරීම සඳහා යන්ත්‍ර ආධාරයෙන් පස සකස්කර, ලියදි වල බීජ වී වගාවට සූදානම් කරනු ලැබීය. තවද, වැසි කාලයේදී වැසි ජලය එකතු වීමට ජලාශයක් මෙන්ම වගා කටයුතු වලට ජලය සැපයීම සඳහා ජල මාර්ගද සකස් කරන ලදී.

එම ව්‍යාපෘති තවදුරටත් සංවර්ධනය කරමින් 3 වන අදියරේදී එම මනස්කාන්ත පරිසරය ආශ්‍රිතව ප්‍රදේශයේ ජනතාවට ශාරීරික ව්‍යයායාම් කටයුතු සිදුකිරීමට උපකාරී වන පරිදි ඇවිදීමේ මන්තීරු ඉදිකරදී ඒ ආශ්‍රිතව ශාරීරික ව්‍යයායාම් සඳහා ආධාරක උපාංග කිහිපයක්ද සවිකිරීම, පොල් පැළ 100 ක් සිටුවීම, යුද්ධ හමුදාව විසින් ඉදිකරන ලද ජලාශවල බෝවීම සඳහා කුඩා මත්ස්‍ය පැටවුන් 20000 ක් මුදා හැරීම සහ අවට භූමීය දර්ශණීය ලෙස අලංකාර කීරීමේ කටයුතු සිදුකරන ලදී.

සාම්ප්‍රදායික චාරිත්‍ර හා ආගමික වතාවත්වලට මුල්තැනක් දෙමින් ‘රන් අස්වනු නෙලීමේ මංගල්‍යය’ ආරම්භ වූ අතර, ප්‍රධාන ආරාධිත අමුත්තා වූ ලෙස සපැමිනි යුද්ධ හමුදාධිපතිතුමන් සහ යුද්ධ හමුදා සාමාජිකයන් පිරිසක් සමඟින් සංකේතාත්මකව මෙම කන්නයේ ප්‍රථම වී අස්වැන්න නෙලීම සිදුකරන ලදී.

අදියර තුනක් යටතේ සිදුකරන ලද සමස්ත ව්‍යාපෘතිය යුද්ධ හමුදා මූලස්ථානයේ යුධෝපකරණ මාස්ටර් ජෙනරල් ශාඛාව මගින් ක්‍රියාත්මක කරන ලදී. ඒ සඳහා විධායක ජෙනරාල් ශාඛාවේ සහායද හිමිවූ අතර, යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ මන්ඩලය විසින් ලබාදුන් උපදෙස් මත යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ භටපිරිස් හි ශ්‍රම දායකත්වයෙන් මෙම ව්‍යපෘතිය සිදුකරන ලදී.

මෙම ව්‍යපෘතිය සාර්ථකව සිදුකිරීමට යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඩබ්ලිව්බීඑස්එම් අබේසේකර ආර්එස්පී යූඑස්පී සහ යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ඒකේ රාජපක්‍ෂ ආර්එස්පී දායකත්වය ලබා දුන්හ.

අස්වනු නෙලීමේ උත්සව අවස්ථාව සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ටීජේ කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් සීඩි වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු සහභාගී වූහ.

අනුග්‍රහය - www.army.lk