යාපනයේ යොවුන් ක්‍රිකට් ක්‍රීඩිකාවට යුද හමුදා සහයෙන් නව නිවසක්

සැප්තැම්බර් 19, 2022

වයස අවුරුදු 19 න් පහළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සඳහා තේරී පත් වූ යාපනයේ චූලිපුරම් වික්ටෝරියා විද්‍යාලයේ ක්‍රිස්ටිගා සෙල්වරාසාගේ පවුලට නව නිවසක් ඉදිකිරීම සඳහා යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් යුද හමුදා භට පිරිස් විසින් තාක්ෂණික සහ ශ්‍රම දායකත්වය ලබාදෙන ලදී.

පාසල් ක්‍රිකට් ක්‍රීඩිකාවක් ලෙස ඇය ලබා ඇති ජයග්‍රහණ අගය කිරීමක් ලෙස නල්ලූර් හි පිහිටි තියාහි පුණ්‍ය භාරයේ (Thiyahie Charitable Trust) සභාපති වාමදේවන් තියගේන්ද්‍රන් මහතාගේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය 16 වන ගැමුණු හේවා බළකායේ භට පිරිස් විසින් සිදුකරන බව යුද හමුදා ආරංචි මාර්ග සඳහන් කළේය.

තවද ආර්ථික දුෂ්කරතාවයන් හමුවේ සහනයක් ලෙස ඇය‌ට ක්‍රිකට් පුහුණුවීම් කරගෙන යාමට උපකාර කිරීම සඳහා යුද හමුදාව විසින් අනුග්‍රාහකයෙකු ද සූදානම් කර ඇති අතර ඒ අනුව විදේශයන්හි සිටින පරිත්‍යාගශීලියෙකු විසින් ඇයට මාසිකව රුපියල් 5000/= ක ශිෂ්‍යත්වයක් ලබාදීමට කටයුතු කරන බවද යුද හමුදාව සඳහන් කළේය.

හින්දු ආගමික ආශිර්වාද හා සම්ප්‍රදායන්ට අනුව නිවස ඉදිකිරීමට මුල්ගල තැබීමේ උත්සවය චුල්ලිපුරම ප්‍රදේශයේදී පැවැත්විණි.

මේ අතර, තෝරාගත් සුදුසු සිවිල් වැසියන් සඳහා වියළි සලාක මළු 125 ක් බෙදාදීමේ වැඩසටහනක් මුලතිව්, පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේදී පැවැත්වූ බව යුද හමුදා මාධ්‍ය වාර්තා කළේය.

කොළඹ රාජකීය විද්‍යාලයේ බෞද්ධ සහෝදර සංගමයේ ප්‍රධාන අනුශාසක පූජ්‍ය ගවරගිරියේ ප්‍රේමරතන හිමියන්ගේ සම්බන්ධීකරණයෙන් සහ සිංගප්පූරුවේ ප්‍රධාන සංඝනායක, කඩුගන්නාව ‘පාරමිතා’ භාවනා මධ්‍යස්ථානාධිපති හා බෙල්ලන්විල රජමහා විහාරයේ විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නාහිමිපාණන්ගේ අනුග්‍රාහකත්වයෙන් මෙම වැඩසටහන පැවැත්වූ බව යුද හමුදාව සඳහන් කළේය.