මාලි රාජ්‍යයේ ශ්‍රී ලංකා භට පිරිස් වෙත පැසසුම්

සැප්තැම්බර් 23, 2022

මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙ‍යුම (MINUSMA)  යටතේ සේවයේ නියුතු ශ්‍රී ලංකා යුද හමුදා සාම සාධක භටයින් ඔවුන්ගේ වෘත්තීය මට්ටමින් ඉහළ කාර්ය සාධනය පසුගියදා පැවති උත්සවයකදී බෙහෙවින් පැසසුමට ලක් වූ අතර 4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායමේ මේජර් ආර්.ඒ.ඩී.එම්.ඩී සෙනෙවිරත්න වෙත විශේෂ සේවා පදක්කමක් ප්‍රදානය කරන ලදී.

 මාලි රාජ්‍යයේ ගාඕ සිට කිඩාල් දක්වා සැපයුම් රථ පෙළපාලියක ගමනාගමනය අතරතුර, ශ්‍රී ලංකා පරික්‍ෂා කිරීමේ සහ හඳුනාගැනීමේ කණ්ඩායම විසින් වැඩිදියුණු කරන ලද පුපුරණ ද්‍රව්‍ය දෙකක් සොයා ගත් ගත් අතර, ලේ වැගිරීමක් ඇති කිරීමට පෙර ඒ දෙකම සාර්ථක ලෙස නිෂ්ක්‍රීය කර ඇත.

12 වන ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ මේජර් සෙනෙවිරත්න විසින් පාර අයිනේ වළ දමා තිබූ බිම් බෝම්බ දෙකම සොයා ගන්නා ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම් කඳවුරේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ මිනුස්මා බලකාධිපති ලුතිනන් ජෙනරල් කොරනේලිස් ජොහාන්ස් මත්තිසේන් (Lt Gen Cornelis Johannes Matthijssen) විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායමේ වෘත්තීය කළමනාකාරීත්වය, සුපරීක්ෂාකාරී බව, අවධානය සහ කඩිසරකම පිළිබඳ බෙහෙවින් අගය කළ බව යුද හමුදාව ප්‍රකාශ කරයි.

 මාලි හි ගෝත්‍රික ත්‍රස්තවාදී කණ්ඩායම් මෑතකදී ඔවුන්ගේ ප්‍රතිවාදීන් ඉලක්ක කර ගනිමින් ඔවුන්ගේ දරුණු අන්තර් ප්‍රචණ්ඩ ක්‍රියා තීව්‍ර කර ඇති අතර ගොඩබිමෙන් වට වූ රටට සේවය කරන එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි සඳහා යොදවා ඇති සියලුම එක්සත් ජාතීන්ගේ හමුදාවන්ට ප්‍රබල තර්ජනයක් වී ඇති බව ද යුද හමුදා මාධ්‍ය තහවුරු කළේය.