මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සිටින ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයින් එක්සත් ජාතීන්ගේ සාම සාධක පදක්කමෙන් පිදුම් ලබයි

සැප්තැම්බර් 28, 2022

මධ්‍යම අප්‍රිකානු ජනරජයේ බ්‍රියා හි යොදවා ඇති ශ්‍රී ලංකා ගුවන් හමුදා 7 වැනි ගුවන් හමුදා කණ්ඩායම සඳහා එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා පදක්කම් ප්‍රදානය කිරීමේ පෙළපාලිය පසුගියදා (සැප් 21) පැවැත්විණි.

ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය වාර්තා කරන පරිදි, මිනුස්කා හි නැගෙනහිර ආඥාපති බ්‍රිගේඩියර් ජෙනරල් සයිඩ් මොහොමඩ් ෂහීඩ් රහ්මාන් පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.

අතිශය දුෂ්කරතා හමුවේ මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාම සාධක මෙහෙයුම සඳහා සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ වෘත්තීය කැපවීම සහ ධෛර්යය පිළිබඳව ප්‍රධාන ආරාධිතයාගේ ප්‍රශංසාව පල කලේය.

ගුවන් හමුදා කණ්ඩායමේ අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් ප්‍රියංක හේරත් විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා සහ ගෞරවනීය ආරාධිත අමුත්තා පිළිගනු ලැබූ අතර විංග් කමාන්ඩර් ජානක දොඩංගොඩ විසින් පදක්කම් පෙළපාලියට අණ දෙන ලදී.

පසුගිය වසරේ (2021) නොවැම්බර් මාසයේදී මිනුස්කා වෙත යොදවන ලද 7 වන ශ්‍රී ලංකා ගුවන් හමුදා බලඇණියට නිලධාරීන් 20 දෙනෙකු සහ සෙසු නිලයින් 90 දෙනෙකු ඇතුළත් වේ. ගුවන් ප්‍රවාහන මෙහෙයුම්, ප්‍රභූ ගුවන් ගමන්, රෝගීන් ප්‍රවාහනය සහ සන්නද්ධ මෙහෙයුම් සඳහා ගුවන් හමුදා කණ්ඩායමේ හෙලිකොප්ටර් භාවිතා කරන අතර 2021 සිට මේ දක්වා මගීන් 2942 ක් සහ භාණ්ඩ කිලෝග්‍රෑම් 265,257 ක් ප්‍රවාහනය කරන අතරතුර පැය 1098 ක් පියාසර කර ඇති බව ගුවන් හමුදා ආරංචි මාර්ග වාර්තා කරයි.

මෙම අවස්ථාවට මිනුස්කා හි ප්‍රධාන ගුවන් සේවා නිලධාරී චාල්ස් රොජර් අමූසු, නැගෙනහිර නියෝජ්‍ය ආඥාපති කර්නල් අහමඩ් ගෝමා මොහොමඩ්, මිනුස්කා හි එක්සත් ජාතීන්ගේ යුද සහ සිවිල් මාණ්ඩලික නිලධාරීන් ද සහභාගී විය.