පී 627 ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව ලබන මස මුලදී ශ්‍රී ලංකාවට

ඔක්තෝම්බර් 03, 2022

පී 627 ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව මෙරට වෙත යාත්‍රා කරන අතරමගදී ඊයේ (ඔක්තෝබර් 2) ගුවාම් හී (Guam) අප්‍රා (Apra) වරායට සේන්දු විය.

මෙම නෞකාව පැසිෆික් සාගරයේ නාවික සැතපුම් 5898 ක් පමණ දිගු මුහුදු ගමනක් යාත්‍රා කර සැපයුම් හා සේවා අවශ්‍යතා සපයා ගැනීම සඳහා අප්‍රා වරායට සේන්දු වී ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පැවසීය.

ඇමෙරිකා එක්සත් ජනපද වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත්ව තිබූ ඇමෙරිකානු වෙරළාරක්‍ෂක නෞකා ‘ඩග්ලස් මුන්රෝ’ නෞකාව (EX USCGC Douglas Munro) ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත පසුගිය වර්ෂයේ නිල වශයෙන් භාර දෙන ලදී. මෙම ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව පී 627 දරණ පෙනන්ට් අංකය (Pennant Number) යටතේ ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා සමූහයට එක්වීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා නාවික හමුදා මෙහෙයුම් අවශ්‍යතාවලට ගැලපෙන පරිදි අවශ්‍ය තාක්‍ෂණික හා නවීන උපාංග එක් කර නවීකරණය කරන ලදී.

පසුව මෙම නෞකාව පසුගිය මාසයේදී ඇමෙරිකාවේ සියැටල් වරායෙන් ශ්‍රී ලංකාව බලා පිටත් වූ බව ශ්‍රී ලංකා නාවික හමුදාව පැවසීය.

පී 627 නෞකාව මෙම දීර්ඝ මුහුදු ගමනෙහිදී එහි මීළඟ සැපයුම් අවශ්‍යතා සඳහා පිලිපීනයේ මැනිලා (Manila) හා සිංගප්පූරුවේ චැංගි (Changi) යන වරායන් වෙත සේන්දුවීමෙන් අනතුරුව, එළඹෙන 2022 නොවැම්බර් මස පළමු සතිය තුලදී කොළඹ වරායට සේන්දුවීමට නියමිතව ඇත.