වාර්ෂික පොපි දින පාගමන හෙට - ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය

ඔක්තෝම්බර් 07, 2022
  • ජනපතිට සහ අගමැතිට පොපි මල් පළඳවයි
  • ප්‍රධාන අනුස්මරණ දින පෙළපාලිය නොවැම්බර් මස පැවැත්වේ

ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය මෙවර පොපි දින සංවත්සරය සැමරීම සඳහා වැඩසටහන් මාලාවක් සංවිධානය කර ඇති අතර, ජනාධිපතිතුමාගේ සහභාගිත්වයෙන් කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ පිහිටි යුද ස්මාරකය අභියසදී පොපි මල් පැළඳීම, පොපි දින පාගමන සහ ප්‍රධාන පොපි දින පෙළපාලිය එම වැඩසටහන් අතර වේ.

කොල්ලුපිටි‌යේ පිහිටි ආරක්ෂක අමාත්‍යංශ මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (ඔක් 06) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පළමු පොපි මල පැලඳවීම මගින් ශ්‍රී ලංකා සේවා මුක්ත  භට සංගමය සිය සැමරුම් වැඩසටහන ඊයේ ආරම්භ කළේය. පසුව අග්‍රාමාත්‍යවරයාට, කථානායකවරයාට සහ විපක්ෂ නායකවරයාට පොපි මල් පැළඳවීම සිදුවිය.

පොපි දින පාගමන හෙට (ඔක්තෝබර් 08) පැවැත්වෙන අතර එය කොළඹ 1, කොටුව, බ්‍රිස්ටල් වීදියේ පිහිටි ශ්‍රී ලංකා සේවා මුක්ත  භට සංගම් පරිශ්‍රයෙන් ආරම්භ වන අතර, ඒ සඳහා  සේවා මුක්ත  භට සංගමය ඇතුළු අනුබද්ධ සංගම්හි සාමාජිකයින් දහසකට වැඩි පිරිසක් අපේක්ෂා කරන බව මේජර් ජෙනරල් (විශ්‍රාමික) රුවන් වනිගසූරිය මාධ්‍ය වෙත පැවසුවේය.

මහජනතාවට පොපි මල් සහ පොපි කළඹ අලෙවි කිරීම මගින් රණවිරු සුබසාධන කටයුතු සඳහා අරමුදල් සපයා ගැනීමට සේවා මුක්ත  භට සංගමය බලාපොරොත්තු වේ. පොපි මල් කළඹක වටිනාකම රුපියල් 100.00 සහ 200.00 වන අතර පොපි ස්ටිකරයක මිල රුපියල් 20.00 කි. තනි පොපි මල් සඳහා මිලක් නියම කර නොමැති අතර ඒ සඳහා මහජනතාවගෙන් නොමසුරු දායකත්වයක් අපේක්ෂා කරයි.  

එමගින් එකතු කර ගන්නා අරමුදල් සාමාජිකයින් සඳහා වෛද්‍ය ආධාර, සාමාජිකයින්ගේ දරුවන් සඳහා අධ්‍යාපන ශිෂ්‍යත්ව සහ ආධාර ලබාදීම, බෝලගල සහ කටුගස්තොට පිහිටි ප්‍රවීන රණවිරු නිවාස දෙක පවත්වාගෙන යාම ඇතුළු සේවා මුක්ත  භට සංගමය විසින් සිදුකරනු ලබන සියලුම සුභසාධන කටයුතු සඳහා යොදවනු ලැබේ.

මෙම පොපි මල් සපයනු ලබන්නේ රාජකීය පොදුරාජ්‍ය මණ්ඩලීය සේවා මුක්ත භට සංගම් ලීගය (Royal Commonwealth Ex-Service League) විසිනි. පොපි මල් අලෙවි කිරීම සඳහා ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන්, අධ්‍යාපන අමාත්‍යාංශය සහ ආරක්‍ෂක අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය ආයතනවල සහය ලබා ගැනීමට අපේක්ෂා කෙරේ.  

ප්‍රධාන පොපි දින පෙළපාලිය නොවැම්බර් මස 13 වැනි දින කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ යුද ස්මාරකය අභියසදී පැවැත්වේ.

මෙම මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා සේවා මුක්ත  භට සංගමයේ මහ ලේකම් ලුතිනන් කර්නල් (විශ්‍රාමික) අජිත් සියඹලාපිටිය, එහි භාණ්ඩාගාරික මේජර් ශාන්තිලාල් කංකානම්ගේ, උප සභාපති (ගුවන් හමුදා) වින්ග් කමාන්ඩර් මලින්ද විජේනායක සහ පොපි දින සංවිධායක කමිටුවේ සභාපති මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය යන මහත්වරු මෙම මාධ්‍ය හමුවට සහභාගී වූහ.    

පොපි මල් මිලදී ගැනීමට කැමති අයවළුන්, 077 220 1350 යන දුරකතන අංකය ඔස්සේ ශ්‍රී ලංකා සේවා මුක්ත  භට සංගමයේ පරිපාලන නිලධාරි ඇමතීමට හැකිය.