නව තෙමහල් සංඝාවාස ගොඩනැගිල්ල මහා සංඝරත්නයට පූජා කෙරේ

ඔක්තෝම්බර් 10, 2022

ඓතිහාසික ඔ‍ලබොඩුව රාජ මහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද තෙමහල් සංඝාවාස ගොඩනැගිල්ල අද (ඔක් 10) පෙරවරුවේ අග්‍රාමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති ආගමික උත්සවයකදී විවෘත කර මහා සංඝරත්නය වෙත පූජා කරන ලදී.

ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ සහ බොරලැස්ගමුව ඇක්වෝරා ලංකා පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ නිශාන්ත තිලකරත්න මහතාගේ මූල්‍ය දායකත්වයෙන් නාවික හමුදාව විසින් තෙමහල් සංඝාවාසය ඉදිකරන ලදී.

තෙමහල් සංඝාවාස ගොඩනැගිල්ල විවෘත කිරීමේ සන්නස් පත්‍රය ඔලබොඩුව රාජ මහා විහාරාධිපති සහ තලගල විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති, ප්‍රධාන කර්මස්ථානාචාර්ය, ශාස්ත්‍රවේදි පණ්ඩිත උඩුවේ හේමාලෝක හිමියන් වෙත ගරු අග්‍රාමාත්‍යතුමා විසින් පිළිගැන්වීය.

පූජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතන හිමියන්ගේ ඇතුළු මහා සංඝරත්නය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු ආරාධිතයන් විශාල පිරිසක් මෙම ආගමික උත්සවයට සහභාගි වූහ.