තද සුළං සහ අකුණු සමග ගිගුරුම් සහිත වැසි

ඔක්තෝම්බර් 13, 2022

බස්නාහිර, මධ්‍යම, වයඹ සහ සබරගමුව පළාත් වලට ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට අධික තද වැසි අපේක්ෂා කළ හැකි අතර ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු‌වේ අද (ඔක්තෝබර් 13) කාලගුණ අනාවැකිය මගින් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

බස්නාහිර, දකුණ, වයඹ, මධ්‍යම, සබරගමුව සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී දිවයිනේ සෙසු ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බව කාලගුණ අනාවැකියේ වැඩිදුරටත් සඳහන් වේ. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක් තද වැසි බලාපොරොත්තු විය හැක.

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වලාකුළු සහිත අහසක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු වාර්තාව පවසයි.

මීට අමතරව, ගාල්ල සිට හම්බන්තොට සහ පොතුවිල් හරහා මඩකලපුව දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ස්ථාන කිහිපයක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සමුද්‍ර කාලගුණ අනාවැකිය පවසයි.

‍සුළං නිරිත දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 25-35 පමණ වක අතර ශ්‍රී ලංකාවට දකුණින් සහ ගිනිකොන දෙසින් වන මුහුදු ප්‍රදේශයේ පවතින ක්‍රියාකාරී වළාකුළු ස්වභාවය හේතුවෙන් බේරුවල සිට ගාල්ල, හම්බන්තොට සහ පොතුවිල් හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. 60-70 දක්වා හදිසියේ වැඩිවීමක් අපේක්ෂා කෙරේ.

ඉහත මුහුදු ප්‍රදේශවල මේ සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.