පවතින කාලගුණ තත්වය තවදුරටත් එලෙසින්ම

අගෝස්තු 28, 2019

අද (අගෝස්තු 28) දින උදෑසන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද කාලගුණ වාර්තාවන්ට අනුව පවතින අයහපත් කාලගුණික තත්ත්වය ඉදිරි දින කිහිපය තුළද පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වර්ෂා සහිත තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ යම් දුරකට ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

බටහිර, මධ්‍යම, සබරගමුව, දකුණු හා වයඹ පළාත්වල ඇතැම් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ සමහර ස්ථානවලට මද වැසි ඇතිවිය හැකිය.

හම්බන්තොට සිට පොතුවිල් හරහා කල්මුණේ දක්වාත්, පුත්තලම් සිට ත්‍රිකුණාමලය දක්වා මන්නාරම සහ කන්කසන්තුරය දක්වාත් විහිදෙන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි අතර විටින් විට සුළගේ වේගය පැ. කිලෝමීටර 55 – 60 දක්වා වැඩි විය හැක. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං (පැ. කිලෝමීටර 70 -80 දක්වා ) ඇති විය හැකි අතර ගිගුරුම් සහිත වැසි සහිත අවස්ථාවන්හිදී ඉතා රළු මුහුදක් අපේක්ෂා කළ හැකිය. නාවික හා ධීවර ප්‍රජාව මේ පිලිබදව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා.

මේ අතර, අගෝස්තු 27 වන දින සිට සැප්තැම්බර් 07 දක්වා සූර්යයා කෙලින්ම ශ්‍රී ලංකාවට ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. අද (අගෝස්තු 28) දින (දහවල් 12.12 ) නච්චිකුඩා, මුරිකන්ඩි, අලන්කුලම් සහ පිරප්පුවෙද්දුවාන් යන ප්‍රදේශවලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සදහන් කරයි.