ආපදා සහන කටයුතු තවදුරටත් ක්‍රියාත්මකයි - ආරක්‍ෂක රාජ්‍ය ඇමති

ඔක්තෝම්බර් 17, 2022

අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාව සඳහා ආපදා සහන කටයුතු තවදුරටත් ක්‍රියාත්මක බව රාජ්‍ය ආරක්‍ෂක ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව අයහපත් කාලගුණයේ අඩුවීමක් බලාපොරොත්තු වන අතර එබැවින් ඉදිරි දින කිහිපය තුල මෙම ආපදා තත්ත්වය මඟහරවා ගත හැකි බවට ඔහු විශ්වාසය පල කරයි.

දිස්ත්‍රික්ක 12 කට අයත් ග්‍රාම නිලධාරී කොට්ඨාශ 58ක පවුල් 11149 ක් සහ පුද්ගලයින් 49873 ක් ආපදාවට ලක්ව ඇති බවත්, ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ආපදා සහන සඳහා මුදල් ප්‍රතිපාදන වෙන්කර ඇති බවත්, දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා ග්‍රාම නිලධාරීන් මඟින් එම සහන කටයුතු සිදුවන බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ය.

දිවයිනේ පවතින කාලගුණ සහ ආපදා තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඊයේ (ඔක්තෝබර් 16) ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දී පැවති විශේෂ රැස්වීමෙන් අනතුරුව මාධ්‍යයට එහි සාරාංශය ඉදිරිපත් කරමින් ඔහු මෙම අදහස් පළ කලේය.