12 වන ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළෙල උත්සවාකාරයෙන් ඇරඹේ

ඔක්තෝම්බර් 20, 2022
  • ත්‍රිවිධ හමුදාවේ විශාලතම ක්‍රීඩා උළෙලේ ආරම්භය ආරක්‍ෂක ලේකම්වරයා අතින් සනිටුහන් කෙරේ

12 වන ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළෙල 2022/2023 ඊයේ (ඔක් 19) පනාගොඩ යුද හමුදා ජනපද ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න විසින් උත්සවාකාරයෙන් විවෘත කරන ලදි.

ප්‍රධාන ආරාධිත අමුත්තා වූ ආරක්‍ෂක ලේකම් ජෙනරල් ගුණරත්න ගේ පැමිණීමත් සමඟ උත්සවය ආරම්භ විය.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, ත්‍රිවිධ හමුදාපතිවරුන්, ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසක් මෙම වර්ණවත් උත්සවයට එක්ව සිටියහ.

උත්සවය ආරම්භයට පෙර මියගිය රණවිරුවන්ට ගෞරව දැක්වීමක් ලෙස විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ද පැවැත්විණි.

ඉන් අනතුරුව නිලධාරීන් සහ තරඟකරුවන් ක්‍රීඩා උළෙලේ නිල සුරතලා කැටුව ක්‍රීඩා පිටියට පැමිණෙන ලදි. සමාරම්භක උත්සවය හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව පැවැත්විණි.

සංවිධායක කමිටු සභාපති එයාර් වයිස් මාෂල් වරුණ ගුණවර්ධන විසින් පිළිගැනීමේ කතාව සිදුකළේය.

තම තමන්ගේ ක්‍රීඩා ඉසව් වලින් ජයග්‍රහණ ලබාගැනීමේ දැඩි බලාපොරොත්තු ඇතිව ක්‍රීඩක ක්‍රීඩිකාවන් මහත් උනන්දුවෙන් බලා සිටිය දී ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළෙලේ ආරම්භය පිළිබඳ නිල ප්‍රකාශය සිදුකරන ලදි.

අනතුරුව සියලුම තරඟකරුවන් සහ නිලධාරීන් ක්‍රීඩාංගනයේ දී නිල දිවුරුම ලබා දුන් අතර, ඉන් පසුව හමුදා තූර්ය වාදක කණ්ඩායම් වාදනය මධ්‍යයේ ඔවුන් ක්‍රීඩාංගනයෙන් පිටව ගියහ.

තරඟාවලිය අවසන් වනතුරු දැල්වෙන ඔලිම්පික් පහන ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් දෙදෙනෙක් සහ ක්‍රීඩිකාවකගේ සුරතින් දැල්වූහ.

යුද, නාවික සහ ගුවන් හමුදාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 600කට අධික සංඛ්‍යාවකගේ සහභාගිත්වයෙන් තරඟ ඉසව් තිස් නවයක් යටතේ ජයග්‍රහණය සඳහා තරඟ කරති.