නාවික හමුදාවට නවතමයෙන් එක්වන නෞකාව ශ්‍රී ලංකාවට ලඟාවේ

නොවැම්බර් 02, 2022

•    අමෙරිකානු වෙරළාරක්‍ෂක බලකාය භාරදුන් නෞකාව කොළඹට
•    නාවික හමුදාවේ සමුද්‍රීය හැකියාවන් වැඩිදියුණු කිරීමට සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම අපේක්ෂාවයි.

එක්සත් ජනපදයේ සියැටල් වරායෙන් ගමන් අරඹා අද (නොවැ 02) දින කොළඹට ළඟා වූ පී 627 ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිය නෞකා බලඇණියට පිළිගනු ලැබීය.

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමන් ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ මෙම අවස්ථාවට ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න ගෞරවනීය ආරාධිතයා ලෙස සහභාගී විය.

මෙම අවස්ථාවට ඇමරිකා එක්සත් ජනපදයේ තානාපතිනි අතිගරු ජූලි චුන්ග් මැතිණිය ද සහභාගී විය.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නවතම නෞකාව එක්සත් ජනපද වෙරළාරක්‍ෂක බලකාය විසින් පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී (2021 ඔක්තෝම්බර් 26) ශ්‍රි ලංකා නාවික හමුදාවට නිල වශයෙන් භාරදෙන ලදී.

එය ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් අවශ්‍යතාවලට සරිලන පරිදි නවීකරණයට ලක්කිරීමෙන් පසු 2022 සැප්තැම්බර් 03 වන දින කොළඹ බලා පිටත් විය.

කොළඹ වරායට පැමිණි රාජ්‍ය අමාත්‍යවරයා සහ ආරක්‍ෂක ලේකම්වරයා නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් පිළිගනු ලැබීය.

නාවික තූර්ය වාදන සහ ජල ආචාර ඇතුළු සම්ප්‍රදායික නාවික පිළිගැනීම් මධ්‍යයේ පී 627 දරන මෙම නෞකාව ඉතා අභිමානවත් අයුරින් කොළඹ වරායට ඇතුළු විය.

නෞකාවේ අණදෙන නිලධාරි කපිතාන් ලංකා දිසානායක විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව නාවික හමුදාධිපති වෙත රපෝර්තු කිරීමෙන් අනතුරුව නෞකාව වෙත ආරාධනා කරන ලදී. නාවික හමුදාපතිවරයා සමඟ රාජ්‍ය අමාත්‍යවරයා, ආරක්‍ෂක ලේකම්වරයා සමඟ ඇමෙරිකානු තානාපතිවරිය නෞකාවට ගොඩවී එහි නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය. නාවික හමුදාපතිවරයා සහ නෞකාවේ අණදෙන නිලධාරියා විසින් නෞකාවේ පහසුකම් සහ මෙහෙයුම් හැකියාවන් පිළිබඳව ඔවුන් දැනුවත් කරන ලදී. මෙම අවස්ථාව සනිටුහන් කරමින් සම්භාවනීය අමුත්තන් වෙත සමරු තිළිණ ප්‍රදානය කිරීම ද අණදෙන නිලධාරි විසින් සිදු කරන ලදී.

එක්සත් ජනපද වෙරළාරක්‍ෂක නෞකාවක් වන ඩග්ලස් මුන්රෝ නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලැබුණු දෙවන Hamilton Class High Endurance Cutter වර්ගයේ නෞකාව වේ. එහි දිග මීටර් 115 ක් වන අතර පුද්ගලයින් 187 දෙනෙකුට ගමන් කළ හැකිය. පැයට නාවික සැතපුම් 29 ක උපරිම වේගයක් සහිත මෙම නෞකාවට එක් වරකදී අවම වශයෙන් නාවික සැතපුම් 14000ක දුරක් ආවරණය කල හැක. එය නාවික හමුදාවේ මෙහෙයුම් අවශ්‍යතාවලට සරිලන ආයුධ පද්ධති සහ නවීන යන්ත්‍ර සූත්‍රවලින් සමන්විතය.

පැසිෆික් සහ ඉන්දියන් සාගර හරහා යාත්‍රා කරමින්, එක්සත් ජනපදය විසින් නිෂ්පාදනය කරන ලද පී 627 නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදා ඉතිහාසයේ යාත්‍රාවක් මගින් මෙතෙක් සිදු කළ දීර්ඝතම මුහුදු ගමන සිදු කරමින් ඉතිහාසයට එක් විය.

සියැටල් සිට කොළඹ බලා එන අතරතුර මෙම නෞකාව හවායි හි හොනොලුලු, ගුවාම්හි අප්‍රා, පිලිපීනයේ මැනිලා සහ සිංගප්පූරුවේ චැන්ගි ඇතුළු වරායන්හී ඉන්ධන සහ සේවා පහසුකම් සපයාගන්නා ලදී. නෞකාව නවීකරණය කරමින් පැවති කාලසීමාව තුලදී 130 දෙනෙකුගෙන් පමණ සමන්විත නැවේ කාර්ය මණ්ඩලය සඳහා පුහුණු පහසුකම් සලසාදෙනු ලැබීය.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද සහ ගුවන් හමුදාපතිවරුන්, අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ත්‍රිවිධ හමුදා නිලධාරීන්, රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ සම්භාවනීය ආරාධිතයින් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.