ආරක්‍ෂක ලේකම්වරයා සඳහිරු සෑයේදී මහා සංඝරත්නයට
කඨින වස්ත්‍ර පූජා කරයි

නොවැම්බර් 04, 2022
  • ආගමික වතාවත් අතරතුර ත්‍රිවිධ හමුදාවට සහ රණවිරුවන්ට ආශිර්වාද

ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න විසින් අනුරාධපුර සඳහිරු සෑ පරිශ්‍රයේදී අද (නොවැම්බර් 04) මහා සංඝරත්නය වෙත කඨින වස්ත්‍ර පූජා කරන ලදි.

ජෙනරල් ගුණරත්න මහතා ඊයේ (03) පස්වරුවේ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳපුදා ගත් අතර, කඨින වස්ත්‍රය පූජා භූමියේ උඩමළුවට ගෙන ගොස් උතුම් ආශිර්වාද ලබාගැනීම ද සිදුකළේය.

අනතුරුව මැදවච්චිය කිඳලේගම ශ්‍රී දළදා විහාරාධිපති හිමියන්ගේ ප්‍රධානත්වයෙන් එදින සවස සඳහිරු සෑ පරිශ්‍රයේදී ආගමික වතාවත් සිදුකෙරිණි.

මෙම වාර්ෂික ආගමික උත්සව අවස්ථාවට ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් රන්ජන් ළමාහේවගේ (විශ්‍රාමික) ද එක්ව සිටියහ.

අද දින (04) උදෑසන මහා සංඝරත්නයේ ආගමික වතාවත් මධ්‍යයේ වාර්ෂික කඨින පූජෝත්සවය පැවැත්වූ අතර, ජය ශ්‍රී මහා බෝධි විහාර පරිශ්‍රයේදී මහා සංඝරත්නය වෙත හීල් දානය පිරිනැමිණි.

අනුරාධපුර මිරිසවැටිය රජමහා විහාරාධිපති අතිපූජ්‍ය ඊතලවැටුනවැවේ ඤාණතිලක හිමිපාණන් වහන්සේ අද (04) සඳහිරු සෑයේ පැවති ධර්ම දේශනාවේදී රණවිරුවන්ට ඉහළම උපහාරය පුද කරමින් ත්‍රිවිධ හමුදාවට ආශිර්වාද කළහ.

මාතෘ භූමියට සාමය උදාකරලීම සඳහා දිවි පිදූ රණවිරුවන්ට සහ රණක්‍ෂිතයට පත් විරුවන්හට ජාතියේ කෘතවේදීත්වය පුද කිරීම සඳහා මෙම දැවැන්ත ගෞරවනීය ස්මාරකය වන ‘සඳහිරු සෑය’ ඉඳිකිරීම 2010 වසරේ දී ආරම්භ කරන ලදි.

වප් පුර පසළොස්වක පොහොය දින සිට ඉල් පුර පසළොස්වක පොහොය දක්වා කාලය තුළ බෞද්ධ විහාරස්ථානවල කඨින පිංකම සිදුකෙරෙන අතර, මෙම පුණ්‍යකර්මය අසීමිත ලෙස පින් රැස් කළ හැකි උතුම් ආගමික පුණ්‍යකර්මයක් ලෙස සැලකේ.

වැඩබලන අටමස්ථානාධිපති සහ රුවන්වැලිසෑය විහාරාධිපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ බැහැ දැකීමට ද ආරක්‍ෂක ලේකම් කටයුතු කළේය.

ජය ශ්‍රී මහා බෝධී පරිශ්‍රයේ සහ සඳහිරු සෑය පරිශ්‍රයේ පැවති උත්සව අවස්ථාවන් සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශයේ නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සහ බැතිමතුන් විශාල පිරිසක් ද එක්ව සිටියහ.