නාවික හමුදාව විසින් හෙරොයින් කිලෝ 331 ක් අත්අඩංගුවට ගනී

නොවැම්බර් 07, 2022

රුපියල් මිලියන 6622ත් 13244ත් අතර දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 331 කට අධික තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් දකුණු මුහුදේදී නාවික හමුදා අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව හම්බන්තොට, මහා රාවණා ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ දකුණු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින් රුපියල් මිලියන 6622ත් 13244ත් අතර දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 331 කට අධික තොගයක් (ඇසුරුම් බර සහිත) රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් හය දෙනෙකු (06) 2022 ‍නොවැම්බර් මස 05 වන දින අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි. එම මත්ද්‍රව්‍ය තොගය සහ සැකකරුවන් අද (2022 නොවැම්බර් 07) උදෑසන ගාල්ල වරාය වෙත රැගෙන එන ලද අතර, එම මත්ද්‍රව්‍ය තොගය පරික්‍ෂා කිරීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහභාගි විය.

ශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධි අංශය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව සිදු කළ විශේෂ බුද්ධි මෙහෙයුමකට අනුව, ශ්‍රී ලංකා නාවික නෞකා වික්‍රම II නෞකාව ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ මුහුදේ ආවේක්‍ෂණය කරමින් සිදුකළ මෙම විශේෂ මෙහෙයුමේදී, හම්බන්තොට, මහා රාවණා ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 10 ක් පමණ දුරින් වූ (කිලෝ මීටර් 18 ක් පමණ) දකුණු මුහුදේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු මෙරට බහුදින ධීවර යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කරන ලදී.

එහිදී, එම බහුදින ධීවර යාත්‍රාවේ සූක්‍ෂම ලෙස සඟවා ප්‍රවාහනය කරමින් තිබූ උර දොළහක් (12) තුළ පැකට් 300 ක අසුරන ලද හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 331 යි ග්‍රෑම් 110 ක පමණ තොගයක් (ඇසුරුම් බර සහිත) සොයා ගැනීමෙන් අනතුරුව, එම බහුදින ධීවර යාත්‍රාව සමඟ එහි සිටි දේශීය සැකකරුවන් 06 දෙනෙකු 2022 ‍නොවැම්බර් මස 05 වන දින අත්අඩංගුවට ගන්නා ලදි.

නාවික හමුදාව මඟින් අත්අඩංගුවට ගත් මෙම මත්ද්‍රව්‍ය තොගයේ අද දිනට පවත්නා දළ විථි වටිනාකම රුපියල් මිලියන 6622 ත් 13244ත් අතර වෙතැයි විශ්වාස කෙරේ.

තවද, නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය මුහුදේදී හුවමාරු කර ගොඩබිමට රැගෙන යාමට සූදානමින් සිටි බවට සැකකෙරෙන ඩිංගි යාත්‍රාවක් සමඟ මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ ගොඩබිම් ජාලයට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු (03) සහ එක් සැකකාරියක් (01) ද නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සිදුකල මෙහෙයුමක් මඟින් මාතර, නිල්වැල්ල ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී සහ නිල්වැල්ල වෙරළ ප්‍රදේශයේදී 2022 ‍නොවැම්බර් මස 06 වන දින අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවන් සොයා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් වැඩිදුර මෙහෙයුම් සිදු කරනු ලබයි.

ඒ අනුව, මෙම විශේෂ මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකරුවන් වයස අවුරුදු 31 ත් 62 අත‍ර වයසේ පසුවන හම්බන්තොට, කෝට්ටේගොඩ, දික්වැල්ල සහ මාමඬල යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගෙන ඇත. එම මත්ද්‍රව්‍ය තොගය, බහුදින ධීවර යාත්‍රාව, ඩිංගි යාත්‍රාව සහ සැකකරුවන් දස දෙනා (10) ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිතව ඇත.

තවද, මත්ද්‍රව්‍ය මෙරටින් පිටුදැකීමේ ජාතික අභිලාෂය සාක්ෂාත් කරගැනීම උදෙසා, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්නගේ මැදිහත් වීමෙන් සියළුම බුද්ධි අංශ ඒකාබද්ධ කර පොදු අරමුණක් කරා මෙහෙයවීමෙන් සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේනැන්න ගේ උපදෙස් හා නිවැරදි මඟපෙන්වීම මත මෙවැනි සාර්ථක මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් සිදු කිරීමට නාවික හමුදාවට හැකියාව ලැබි ඇත.

එමෙන්ම, මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයත් සමඟ ශ්‍රී ලංකා නාවික හමුදාව 2022 වර්ෂයේ මේ දක්වා සිදුකළ මෙහෙයුම මඟින් රුපියල් බිලියන 23.12 කට අධික වීථි වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලද අතර, මෙරට නීතිය බලාත්මක කිරීමේ ආයතනයන් හා එක්ව, ධීවර කටයුතු මුවාවෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන මෙවැනි පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව ඉදිරියටත් අඛණ්ඩව මෙහෙයුම් සිදු කරනු ලබයි.

උපුටා ගැනීම - www.navy.lk