ප්‍රදේශ කිහිපයකට තද වැසි සහ නායයෑම් අනතුරු ඇඟවීම්

නොවැම්බර් 08, 2022

දිවයිනේ පවතින වැසි තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රදේශ කිහිපයක් නායයෑමේ අවදානම් ලෙස නම් කර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඊයේ (නොවැ 7) රාත්‍රී 10.00 ට නාය යෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවිඩයක් නිකුත් කර ඇත.

ඒ අනුව අද (8) රාත්‍රී 10.00 දක්වා වලංගු වන පරිදි නුවරඑළිය, මොණරාගල, බදුල්ල, මාතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

මෙම කාලසීමාව තුළ ඇති විය හැකි නායයෑම්, පොළව ඉරිතැලීම්, ගැඹුරු වූ ඉරිතැලීම්, හදිසි උල්පත් ඇතිවීම, මඩ සහිත ජලය මතුවීම සහ පවතින ජල මූලාශ්‍ර අතුරුදහන් වීම වැනි කරුණු පිළිබඳව විමසිලිමත් වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පුරවැසියන්ට උපදෙස් දෙයි.

මේ අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි අපේක්ෂා කළ හැකි බවත්, අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සිය කාලගුණ අනාවැකියේ සඳහන් කරයි.

නැගෙනහිර පළාතේ හා පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදී වැසි ඇති වන අතර ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.