ආරක්‍ෂක ලේකම් විසින් යුද හමුදා වෛද්‍ය බළකායේ
නව රෙජිමේන්තු නිලධාරී නිවස්නය විවෘත කෙරේ

නොවැම්බර් 09, 2022

වේරහැර පිහිටි යුද හමුදා වෛද්‍ය බලකායේ අභිනවයෙන් ඉදිකරන ලද ‘රෙජිමේන්තු නිලධාරී නිවස්නය’ අද (නොවැම්බර් 09) ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න විසින් විවෘත කරන ලදි.

වැඩ බලන යුද හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් සහ යුද හමුදා වෛද්‍ය බලකායේ, බලකාධිපති බ්‍රිගේඩියර් ක්‍රිසාන්ත ප්‍රනාන්දු විසින් එම ස්ථානයට පැමිණි ආරක්‍ෂක ලේකම් ජෙනරල් ගුණරත්න උණුසුම් අයුරින් පිළිගන්නා ලදි.

යුද හමුදා වෛද්‍ය බලකායේ බලකාධිපති බ්‍රිගේඩියර් ප්‍රනාන්දුගේ ආරාධනයෙන් මෙම නවීන පහසුකම් වලින් සමන්විත අංග සම්පූර්ණ නව පරිශ්‍රයේ සමරු ඵලකය නිරාවරණය කිරීමෙන් අනතුරුව ජෙනරල් ගුණරත්න නව පරිශ්‍රයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය.

හිටපු බලකාධිපතිවරුන් වන මේජර් ජෙනරල් එස්.එච්. මුණසිංහ සහ කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ වත්මන් උපකුලපතිවරයා වන මේජර් ජෙනරල් මිලින්ද පීරිස් යන නිලධාරීන්ගේ දූරදර්ශී ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක් ලෙස අද වන විට මෙම ස්ථානය මෙවන් උසස් තත්වයකට පත්ව ඇති බව යුද හමුදා වෛද්‍ය බලකාය පවසයි.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති මේජර් ජෙනරල් පීරිස් සහ හිටපු බලකාධිපතිවරුන් ද සම්භාවනීය ආරාධිතයින් අතරට එක්ව සිටියහ.

යුද හමුදා වෛද්‍ය බලකායට අනුව 1881 ජූලි 29 වන දින ලංකා පාබල හමුදාවේ (ස්වේච්ඡා) ගිලන් මැසි කණ්ඩායම ලෙස පිහිටුවන ලද මෙය 1911 දී ලංකා වෛද්‍ය බලකාය (ස්වේච්ඡා) ස්වාධීන බලඇණියක් ලෙස ස්ථාපනය කරන ලදි.

1950 ගණන් වලදී, යුද හමුදා වෛද්‍ය බලකායේ පළමු බලකාය ලංකා හමුදාවේ නිත්‍ය බලකායක් බවට පරිවර්තනය කරන ලද අතර, 1972 දී ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වූ විට එය ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකාය ලෙස ස්ථාපිත කරන ලදි. වර්තමානයේ යුද හමුදා වෛද්‍ය බලකාය නිත්‍ය ඒකක හතරකින් සහ එක් ස්වේච්ඡා ඒකකයකින් සමන්විත වේ.

බ්‍රිගේඩියර් ප්‍රනාන්දු විසින් ආරක්‍ෂක ලේකම් වෙත සමරු තිළිණයක් මෙම උත්සවයේ දී ප්‍රදානය කරන ලදි.

ත්‍රිවිධ හමුදා වෛද්‍යවරුන්, ආරක්‍ෂක අමාත්‍යාංශයේ නිලධාරීන්, මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ටී.එම්. හෙට්ටිආරච්චි සහ ජ්‍යෙෂ්ඨ යුද හමුදා නිලධාරීන් ඇතුළු ආරාධිතයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.