රණවිරු සුභසාධන ව්‍යාපෘතිය සඳහා අරමුදල් රැස් කිරීමට ‘උදාරයි ඔබ’ සංගීත ප්‍රසංගය නෙලුම් පොකුණ රගහලේදී

සැප්තැම්බර් 03, 2019

ප්‍රවීණ දේශීය කලාකරුවන් රැසක් සහභාගී වන ‘උදාරයි ඔබ’ සංගීත ප්‍රසංගය මේ මස 14 වන දින සවස 06.30 ට නෙලුම් පොකුණ රගහලේදී පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත. ආරක්ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකය (SVU) විසින් ත්‍රිවිධ හමුදා, පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙනුවෙන් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් (VTC) පිහිටුවීම සඳහා අරමුදල් රැස් කිරීම අරමුණු කර ගෙන මෙම වැඩසටහන සංවිධානය කර ඇත.

රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල ජීවන තත්ත්වය ඉහළ නංවාලීම සඳහා විශේෂ උනන්දුවක් හා කැපවීමක් දක්වන ආරක්‍ෂක අමාත්‍යංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනිය වන සෝනියා කොට්ටෙගොඩ මහත්මියගේ සංකල්පයක් මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.

යෝජිත වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය මගින් ආගන්තුක සත්කාර කළමනාකරණය,භාෂා සහ තොරතුරු තාක්‍ෂණය පිළිබඳ වෘත්තීය පුහුණුව ලබා දෙනු ඇත.

අනුග්‍රාහක ආයතන ගණනාවක් මෙම වැඩසටහනට සහයෝගය ලබා දීම සදහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී ඇත.

ටිකට්පත් වෙන්කරවාගැනීම සදහා www.mytickets.lk වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.