ඕස්ට්‍රේලියානු මිනිස් ජාවාරම් වැළැක්වීමේ නියෝජිත කණ්ඩායම ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යතුමන් සහ ආරක්‍ෂක ලේකම්තුමන් හමුවෙයි

සැප්තැම්බර් 04, 2019

ඕස්ට්‍රේලියානු ඒකාබද්ධ කාර්ය බලකායේ ස්වෛරී දේශසීමා මෙහෙයුම් අණ දෙන නිලධාරී මේජර් ජෙනරාල් ක්‍රේග් ෆුරිනි (Major General Craig Furini) මහතා ඇතුළු ඕස්ට්‍රේලියානු රජයේ නියෝජිත කණ්ඩායමක් පුද්ගල ජාවාරම් සම්බන්ධ කරුණු පිළිබඳ සාකච්ඡා කිරීම සදහා රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය ගරු. රුවන් විජේවර්ධන මහතා සැප්තැම්බර් 03 වන දින අමාත්‍යාංශ පරිශ්‍රයේ දී හමුවිය.
 මෙම අවස්ථාව සදහා ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කොට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතාද සහභාගී විය.

මිනිස් ජාවාරම් කිරීම් සහ මිනිස් ජාවාරම් සම්බන්ධ කරුණු සහ මෙරට සිට  නීති විරෝධීව සංක්‍රමණය වීමට දරන ලද උත්සාහයන්ට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ගයන් පිළිබඳව ඕස්ට්‍රේලියානු දූත පිරිස සාකච්ඡා කරන ලදී.මිනිස් ජාවාරම් වැළැක්වීමේ මෙහෙයුම් සහ මෙරට තුල මිනිස් ජාවාරම් මැඩපැවැත්වීමට ගෙන ඇති දැඩි ක්‍රියාමාර්ගයන් පිළිබදව ඕස්ට්‍රේලියානු බලධාරීන්ගේ ප්‍රශංසාව හිමි විය.

නීතිය ක්‍රියාත්මක කරන ආයතන විසින් වර්තමාන මිනිස් ජාවාරම් වැළැක්වීමේ මෙහෙයුම්වලදී වැඩි ප්‍රගතියක් අත්කර ගත හැකි ක්‍රම සහ විධි පිළිබඳව ද ඔවුන් සාකච්ඡා කරන ලදී. මෙම සාකච්ඡාවේ  සාර්ථකතත්වය පිලිබදව ඕස්ට්‍රේලියානු නියෝජිත කණ්ඩායමේ පැසසුම හිමි විය.

ඕස්ට්‍රේලියානු නියෝජිත කණ්ඩායමේ, මිනිස් ජාවාරම පිළිබඳ ඕස්ට්‍රේලියානු තානාපති බ්‍රයිස් හචිසන් (Mr. Bryce Hutchesson), ජාතික ප්‍රතිචාර මෙහෙයුම් කළමනාකරු, ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසියේ කමාන්ඩර් ජේසන් විලියම්ස්( Commander Jason Williams), ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හොලි (David Holley) මැතිතුමන්, නියෝජ්‍ය මහ කොමසාරිස් වික්ටෝරියා කෝක්ලි (Victoria Coakley) මහත්මිය ඇතුලත්ව සිටියහ.
මෙම අවස්ථාව සදහා ශ්‍රී ලංකා නාවික හමුදාපති රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා සහ නියෝජ්‍ය හමුදා සම්බන්ධතා නිලධාරි බ්‍රිගේඩියර් ඩි  එම් ඒ පී දිසානායක මහතාද සහභාගී විය.