නාවික හමුදා නෞකාවන් විදේශ සංචාරය නිම කර ආපසු දිවයිනට

සැප්තැම්බර් 12, 2019

විදේශීය සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවන් දෙක සැප්තැම්බර් 08 වන ඉරිදා දින ත්‍රිකුණාමල වරාය වෙත පැමිණියේය. ශ්‍රී ලංකා නාවික නෞකා ‘සයුර’ සහ ‘නන්දිමිත්‍ර’ යන නෞකාවන් පසුගිය මස 22 දින  (අගෝස්තු) විදේශීය පුහුණු සංචාරයක් සදහා බංගලාදේශය සහ මියන්මාරය බලා පිටත් විය.

මෙම නෞකාවන් දෙක අගෝස්තු 26 වන දින බංගලාදේශ, චිතගොන් වරාය වෙත ලගා වී ඇති අතර අගෝස්තු 29 වන දින දක්වා එහි රැඳීසිටින ලදී. මෙම කාලය තුළ ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයින් බංගලාදේශ නාවික හමුදා විද්‍යාපිඨයේ නිරික්‍ෂණ චාරිකාවකද නිරත විය.

චිතගොං සිට පිටත්ව යන අතරතුරදී  ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවන් බංගලා‍දේශ නාවික හමුදාව සමඟ  නාවික අභ්‍යාසයකට ද එක් වීය.

සැප්තැම්බර් 01 වන දින ‘සයුර’ සහ ‘නන්දිමිත්‍ර’ නෞකාවන් මියන්මාරයේ, රැංගුන් වරාය වෙත ලගා වී ඇත. එම රටේ නැවතී සිටි කාලය තුළ නැව් දෙකේම කාර්ය මණ්ඩලය මියන්මාර් පළමු නාවික බලඇණියේ නාවික පුහුණු විධානයේ සහ ජාතික ගම්මානයේ නිරික්‍ෂණ චාරිකාවක නිරත විය.

ඉන් පසුව, සංචාරය නිම කිරීමෙන් පසුව නෞකාවන් දෙක සැප්තැම්බර් 04 වන දින  මියන්මාරයෙන් පිටත්වන ලදී.