‘උදාරයි ඔබ’ සංගීත ප්‍රසංගය නෙලුම් පොකුණ රඟහලේදී

සැප්තැම්බර් 12, 2019


ආරක්ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකය විසින් සංවිධානය කරනු ලබන දිවයිනේ ජනප්‍රිය කලාකරුවන් රැසක් සහභාගී වන ‘උදාරයි ඔබ’ සංගීත ප්‍රසංගය සෙනසුරාදා (සැප්තැම්බර් 14) සවස 6.30 ට නෙලුම් පොකුණ රඟහලේදී පැවැවීමට සියලු කටයුතු සුදානම් කර ඇත.

ප්‍රවීණ ගායකයන් වන ටි එම් ජයරත්න,වික්ටර් රත්නායක, කීර්ති පැස්කුවෙල්, සුනිල් එදිරිසිංහ, සුජාතා අත්තනායක, භාතිය ජයකොඩි, සන්තුෂ් වීරමන්, දීපිකා ප්‍රියදර්ශනී, ධනපාල උඩවත්ත, උමාරියා සිංහවංශ, ධම්මික වල්පොල, ධනුෂ් දිසානායක, සංඛ දිනෙත් ප්‍රසංගය සංගීතවත් කරන අතර ත්‍රිවිධ හමුදා, පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ගායක ගායිකාවන් සහ සංගීත කණ්ඩායම් පසුබිම් සංගීතය සපයනු ඇත.

ත්‍රිවිධ හමුදා, පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙනුවෙන් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් (VTC) පිහිටුවීම සඳහා අරමුදල් රැස් කිරීම අරමුණු කර ගෙන ‘උදාරයි ඔබ’ සංගීත ප්‍රසංගය සංවිධානය කර ඇත.

යෝජිත වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය මගින් ආගන්තුක සත්කාර කළමනාකරණය,භාෂා සහ තොරතුරු තාක්‍ෂණය පිළිබඳ වෘත්තීය පුහුණුව ලබා දීමට සැලසුම් කර ඇත. ව්‍යාපාර ලෝකයේ නම් දැරූ  ආයතන ගණනාවක් සහ තනි පුද්ගල දානපතියන් රණවිරු සුබසාධනය උදෙසා සිදුකිරීමට යන මෙම වැඩසටහන වෙනුවෙන් ඔවුන්ගේ දායකත්වය ලබා දී ඇත . එල් ඕ එල් සී හෝල්ඩින්ග්ස් පී එල් සී, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, හේලීස් ඇඩ්වාන්ටිස් ලිමිටඩ්, ලාෆ්ස් ගෑස් පි එල් සී, සීමාසහිත ලංකා පුවත්පත් (පුද්),ඩබ් ටී එස් ගෘප්, සීමාසහිත මෙට්‍රොපොලිටන් කොමියුනිකේෂන්ස් (පුද්)  ආයතනික අනුග්‍රාහකයන් වන අතර මධුර වික්‍රමරත්න මහතා, සුරේෂ් ප්‍රනාන්දු මහතා, චන්දි මහතා රොහාන් අතුරලිය මහතා ස්වේච්ඡාවෙන් මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සදහා පෞද්ගලික ධනය පරිත්‍යාග කල පරිත්‍යාගශීලීන්ගෙන් කිහිප දෙනෙකි.

මෙම වැඩසටහනේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් සහභාගී වීමට නියමිතය.

ටිකට්පත් වෙන්කරවාගැනීම සදහා www.mytickets.lk වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.