ත්‍රස්තවාදීන්ගේ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ස්ථානයක් වැටලීමේ පුහුණු මෙහෙයුම සාර්ථකව සිදු කරයි.

සැප්තැම්බර් 20, 2019

මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින ‘දියකාවා යුද අභ්‍යාසය - 2019’ යේ ත‍්‍රස්තවාදීන්ගේ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් වැටලීම සදහා  බ්‍රහස්පතින්දා තවත් එක් සාර්ථක පුහුණු  මෙහෙයුමක් සිදු කරන ලදී. මෙම පුහුණු මෙහෙයුම මගින් ඉලුප්පයිකඩ්ඩවලි ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් සහ නරකමුල්ල ප්‍රදේශයේ ත‍්‍රස්තවාදීන්ගේ පාලන අංශයක් විනාශ කරනු ලැබීය.

මෙම මෙහෙයුම සදහා කමාන්ඩෝ රෙජිමේන්තුවේ භටපිරිස් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ බෝට්ටු බලඝනයේ භටපිරිස්, චීන, පකිස්තාන සහ මැලේසියානු භට පිරිස් සහ ගුවන් හමුදා සාමාජිකයින් විසින් දිගු දුර මුර සංචාර නිරීක්‍ෂණ මගින් රැස්කරගත් තොරතුරු මත පෙර දින රාත්‍රියේ ඉලුප්පයිකඩ්ඩවලි ප්‍රදේශයට ඇතුල් වී මෙහෙයුම දියත් කර ඇත.  

කමාන්ඩෝ රෙජිමේන්තු භට පිරිස් විසින් නරකමුල්ල ප්‍රදේශයේ පුහුණු මෙහෙයුමක් දියත් කර ත්‍රස්තවාදීන්ගේ ප්‍රධාන පරිපාලන ගොඩනැගිල්ල සහ ඔවුන්ගේ සැපයුම් කඳවුරක් විනාශ කරන ලදී.

මේ අතර, අඟහරුවාදා දින (සැප්තැම්බර් 17) බලපිටිය ප්‍රදේශයේ මාදු ගඟේ ජල ගැලීමෙන් විපතට පත්වූවන් බේරා ගැනීම සදහා කමාන්ඩෝ රෙජිමේන්තු භටයින් විසින් පුහුණු මෙහෙයුමක් සිදු කරන ලදී. කමාන්ඩෝ රෙජිමේන්තු භටයිගේ සෙවීම් සහ මුදා ගැනීමේ කුසලතා වර්ධනය කිරීම සඳහා මෙම අභ්‍යාසය සිදු කරන ලදී.

මෙම පුහුණු මෙහෙයුම සදහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ 4 ආර් ඒකකය, ශ්‍රී ලංකා ගුවන් හමුදා රෙජිමේන්තු ප්‍රහාරක බලකාය සහ මාලදිවයින් ආරක්‍ෂක බලකාය සහභාගී විය.

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සංවිධානය කරනු ලබන මෙම ‘දියකාවා යුද අභ්‍යාසය - 2019’  සදහා යුද්ධ හමුදා සාමාජිකයන් 2400ක්, නාවික හමුදා සාමාජිකයන් 400ක්ද,  ගුවන් හමුදා සාමාජිකයන් 200ක්ද, විදෙස් හමුදා සාමාජිකයන් හා නිරීක්ෂකයන් 100කට අධික සංඛ්‍යාවක් මැලේසියාව, මාලදිවයින, නේපාලය, රුසියාව, බංග්ලාදේශය, චීනය, ඉන්දියාව, පාකිස්ථානය, ඉන්දුනීසියාව, නයිජීරියාව සහ සැම්බියාව නියෝජනය කරමින් මේ සදහා සහභාගී වේ.