යාපනය ප්‍රදේශයේ පාසැල් සිසුන්ට නව පාපැදි

සැප්තැම්බර් 23, 2019

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් සෙනසුරාදා (21) දින පැවති උත්සවයකදී  ප්‍රවාහන පහසුකම් නොමැතිවීම හේතුවෙන් පාසල් වෙත යෑමේ දුෂ්කරතාවන්ට මුහුණ දෙන ආර්ථික අපහසුතා ඇති පවුල්වල පාසල් යන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව සිදුකරගෙන යාම සදහා පාපැදි පරිත්‍යාග කර ඇති බව යුද හමුදා මාධ්‍ය වාර්තා කරයි.

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය ගේ ඉල්ලීමට අනුව මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහභාගි විය.

පාපැදි වලට අමතරව මේ වනවිට ක්‍රියාත්මක කරමින් පවතින රුක් රෝපණ වැඩසටහනට සමගාමීව ආර්ථීක වටිනාකමින් යුත් පැළ තොගයක් බෙදාදීමද සිදු විය.

මේ වන විට යාපනය ප්‍රදේශයේ ස්ථානගතව සිටින භටපිරිස් විසින් පසුගිය වසරක කාලය තුල  දේශීය හා විදේශීය පරිත්‍යාගශීලින්ගේ සහයෝගයෙන්  යාපනය අර්ධද්වීපය තුළ අඩු ආදායම්ලාභි පවුල්වල පාසැල් සිසුන්ට පාපැදි 400 කට අධික ප්‍රමාණයක් බෙදා දීමට හැකිවිය.