තුවාල වූ ධීවරයෙකු ගොඩබිමට රැගෙන ඒම සඳහා නාවික හමුදා සහාය

ජුනි 14, 2019

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (ජුනි 14) දින මුහුදේදී තුවාල ලැබූ ධීවරයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා ගොඩබිමට රැගෙන එන ලද බැව් නාවික හමුදා නිල වෙබ් අඩවිය පවසයි. ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ දැනුම්දීමකට අනුව ක්‍රියාත්මක වූ නාවික හමුදාව අදාළ ධීවරයා රැගෙන ඒම සඳහා සිය වේග ප්‍රහාරක යාත්‍රාවක් යොදවන ලදී.

මෙම ධීවරයා පසුගිය සතියේ දී (ජූනි 08) ‘ජනිත් පුතා 02’ බහුදින ධිවර යාත්‍රාවෙන් මීගමුව ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබිණි. ඒ අනුව, ගාල්ල ප්‍රදිපාගාරයට නාවික සැතපුම් 33 ක් පමණ වූ දුරකදි රෝගියා වේග ප්‍රහාරක යාත්‍රාව වෙත නංවාගෙන ගාලු වරාය වෙත රැගෙන ඒමට කටයුතු කෙරිණි. ගාල්ල වරාය වෙත රැගෙන එනු ලැබූ රෝගියා වෛද්‍ය ප්‍රථිකාර සඳහා කරාපිටිය ශික්‍ෂණ රෝහල වෙත යොමු කරන ලදී.