“ගාලු කථීකාව 2019” අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය කොළඹදී ආරම්භ වේ

ඔක්තෝම්බර් 21, 2019

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 10 වන වාර්ෂික අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය “ගාලු කථීකාව 2019” අද දින (ඔක්තෝබර් 21) කොළඹදී ආරම්භ විය.

අද පෙරවරුවේ ගාලු මුවදොර හෝටලයේදී ආරම්භ වූ දෙදින සමුළුවේ ප්‍රධාන දේශණය ජනමාධ්‍ය සහ රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන මහතා විසින් පැවැත්වීය.

එම අවස්ථාවට ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්. කොට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩිසී මහතාද සහභාගී විය.

එම ස්ථානයට පැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් පිළිගන්නා ලදී.

“නව චින්තනයකින් යුතුව අන්තර් සමුද්‍රීය තර්ජනයන් හට පිළියම් යෙදීම සඳහා සුඳානම් විම: දශකයක සමාලෝචනය”  යන තේමාව යටතේ සමුළුව පැවැත්වේ.

රාජ්‍ය අමාත්‍ය ගරු විජේවර්ධන මහතා ප්‍රධාන දේශණය සිදු කරමින් පවසා සිටියේ වර්තමාන ගෝලීය ගැටළු විසඳීම සඳහා ජාතීන් අතර සහයෝගීතාවය සහ හවුල්කාරිත්වය යථාර්ථවාදී ප්‍රවේශයක් බවට පත්ව ඇති බව සහ මේ පිළිබදව උනන්දුව දක්වන ප්‍රජාවන් තම සහායක පාර්ශවයන් සමඟ වෙළඳාම සහ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් අන්‍යෝන්‍ය එකඟතාවයන්  සහ  හවුල්කාරිත්වයන් ඇති කර ගැනීමට අවස්ථා සොයමින් සිටින බවත් මෙවැනි පසුබිමක්  තුළ සමුද්‍රීය පාර්ශවකරුවන් මිත්‍රශීලී ජාතීන් සමඟ සහයෝගයෙන් සමුද්‍රීය ආරක්ෂාව වැඩි දියුණු කිරීමට උත්සාහ ගත යුතු බවයි.

ඉන්දියානු සාගරික කලාපයේ සිදුවන්නාවූ කටයුතු වර්තමාන මෙන්ම අනාගත සමුද්‍රීය කටයුතු තීරණය කිරීමට හා බලපෑම් කිරීමට තීරණාත්මක සාධකයක් බවට පත්ව ඇති බවද ඔහු සඳහන් කළේය.

ඉන්දියන් සාගරයේ පිහිටා ඇති ශ්‍රී ලංකාව නැගෙනහිර හා බටහිර සමුද්‍රීය මාර්ගයේ වැදගත් කාර්යභාරයක් ඉටු කරන අතර සමුද්‍රීය ඉතිහාසය තුල ශ්‍රී ලංකාවේ උපායමාර්ගික වැදගත්කම අතිවිශාල බවද, අන්තර්ජාතික තර්ජන ඉන්දියානු සාගරික කලාපය මුහුණපාන ප්‍රධාන ආරක්ෂක ගැටළු වලින් එකක් බවට පත්වෙමින් පවතින අතර මෙය නිසා ඉන්දියන් සාගරය තුල පිහිටා ඇති ප්‍රධාන මුහුදු මාර්ගවල ආරක්ෂාව පිලිබදව ගැටළු මතුව ඇති බවත් එතුමන් පැවසීය.

රාජ්‍ය අමාත්‍යතුමන් තවදුරටත් පවසා සිටියේ ඉන්දියානු සාගරයේ අතිශයින් වැදගත් ස්ථානයක පිහිටීමේ සුවිශේෂී වාසිය සමඟ ශක්තිමත් වෙමින් වෙළඳාම සහ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම තුළින් මෙරට සමුද්‍රීය කීර්තිනාමය ඉන්දියානු සාගරය තුල ඉහල නැංවීමට  අවශ්‍ය කටයුතු සිදු කරන බවයි.

නිදහස් නාවික කටයුතු වල වටිනාකම සහ ඉන්දියානු සාගරය හරහා වෙළඳ හා බලශක්ති සුමටව ගලා යාම සෑම සාමකාමී ජාතියක්ම පිළිපැදිය යුතු පොදු සම්මතයක් ලෙස ශ්‍රී ලංකාව පිළිගන්නා බවත් එබැවින්, නාවික නිදහස සහ වෙළඳ හා බලශක්ති සුමටව ගලායාම ආරක්ෂා කිරීමට ඉවහල් වන ඕනෑම මුලපිරීමකට ශ්‍රී ලංකාව එක් වන බව වැඩිදුරටත් සදහන් කර සිටින ලදී.

අප කලාපීය මෙන්ම ගෝලීය හවුල්කරුවන් සමඟ සුහදත්වයෙන් යුතුව කටයුතු කිරීමට සූදානම් බවත් එතුමන් අවධාරණය කළේය.

කිසිදු රටකට හුදකලාව සමුද්‍රීය ආරක්ෂක තර්ජන හා අභියෝගයන් ජය ගැනීමට හැකියාවක් නැති බවත්  අවශ්‍ය වන්නේ සමුද්‍රීය ආරක්ෂක තර්ජන හා අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීම සඳහා ගෝලීය,ව්‍යුහාත්මක සහ  සාමුහික යාන්ත්‍රණයක අවශ්‍යතාවය බව එතුමන් පැවසීය.

අවසාන වශයෙන්, ගාලු කථීකාව 2019 ඉන්දියානු සාගරික කලාපයේ පවතින ගැටළු අවබෝධ කර ගැනීමටත්,ගැටළු මගහරවා ගනිමින් අනාගතයේ ක්‍රියා කලයුතු ආකාරයන් පිලිබදව පොදු එකගතාවයන්ට පැමිණිය හැකි සමුළුවක් වනු ඇති බවට විශ්වාසය පළ කරන බව ප්‍රකාශ කල අතර, මෙම සාමුහික යාන්ත්‍රණයක් සහ සංශෝධිත ව්‍යුහයක් සමඟ අනාගතය වෙනුවෙන් සූදානම් වීම කෙරෙහි අවධානය යොමු කරමින් පසුගිය වසර 10 තුළ මෙම සමුළුව සදහා සහභාගී වන පාර්ශවයන්ගේ අත්දැකීම් මත පදනම්ව අන්තර්ජාතික සමුද්‍රීය තර්ජනවලට මුහුණ දීම සඳහා කටයුතු කිරීමට අවකාශයන් සැලසෙන බව ප්‍රකාශ කරන ලදී.

අතිගරු ජනාධිපතිතුමන්ගේ පණිවිඩය නාවික හමුදාධිපති විසින් කියවන ලදී.

උත්සවයේ දී නාවික හමුදාධිපතිගේ ආරාධනයෙන් ආරක්ෂක ලේකම් විසින් ආරම්භක සැසිය සදහා සහභාගී වූ කීර්තිමත් කථිකයින්ට වෙත සිහිවටන පිරිනමන ලදී.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ආරාධනයෙන් මෙවර සමුළුව සඳහා රටවල් 54 ක, ජාත්‍යන්තර සංවිධානවල සහ  ආරක්ෂක කේෂත්‍රයේ නිපැයුම් සම්බන්ධ ආයතන වල නියෝජිතයින් සහභාගී වේ.

සමුද්‍රීය ආරක්ෂාව,නැව්ගත කිරීම සහ ආර්ථිකය,සාම්ප්‍රදායික නොවන තර්ජන,පාරිසරික ආරක්ෂාව සහ මානුෂීය ආධාර සහ ආපදා සහන යන මාතෘකාවන් යටතේ සැසි වාරයන් දෙදිනක් පුරා සිදු කෙරේ.

මෙම අවස්ථාවට අද්මිරාල් ඔෆ් ද ෆිල්ට් වසන්ත කරන්නාගොඩ, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති, ගුවන් හමුදාධිපති, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, වෙරළාරක්ෂක බලකා අධ්‍යක්ෂක ජෙනරාල්, විශේෂ කාර්ය බලකා අණදෙන නිලධාරි,ජේෂ්ඨ නාවික හමුදා නිලධාරින් සහ විශේෂ ආරාධිතයින් සහභාගී විය.

ගාලු කථීකාව පිළිබඳ වැඩි විස්තර සඳහා කරුණාකර www.galledialogue.lk වෙත  පිවිසෙන්න.