“කොළඹ ගුවන් සම්මේලනය 2019” හෙට දින ආරම්භ වේ

ඔක්තෝම්බර් 23, 2019

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සංවිධානය කරනු ලබන “කොළඹ ගුවන් සම්මේලනය 2019” අන්තර් ජාතික සම්මන්ත්‍රණය ඔක්තෝබර් 24 සහ 25 යන දෙදින තුල අත්තිඩිය ඊගල්ස් ලේක්සයිඞ් උත්සව ශාලාවේදී පැවැත්වේ.

ගුවන් හමුදා මාධ්‍යට අනුව මෙවර සම්මන්ත්‍රණය "කුඩා ගුවන් හමුදාවක්: අනාගත දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා ඉදිරියට" (A Small Air Force: Way Forward in Achieving Future Vision) යන තේමාව යටතේ සියළුම කලාප නියෝජනය කරමින් හමුදා නායකයින්, තාක්ෂණික විශේෂඥයින්, ගෝලීය චින්තනයින් සහ රාජ්‍ය තාන්ත්‍රිකයින් ඇතුළු 40 කට අධික පිරිසක් සහභාගී වීමට නියමිතය. ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් පවත්වනු ලබන සම්මන්ත්‍රණ මාලාවේ මෙවර පැවැත්වෙන්නේ පස්වන අවස්ථාවටයි.

ගුවන් හමුදාධිපති එයාර් මාෂල් සුමංගල ඩයස් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සම්මන්ත්‍රණය පිළිබදව නිවේදනය කිරීම සඳහා මාධ්‍ය හමුවක්  ගුවන් හමුදා මූලස්ථානයේදී ඊයේ දින (ඔක්තෝබර් 22) පැවැත්විණි.

මෙම වසරේ සම්මේලනයයේ "කුඩා ගුවන් හමුදාවක්: අනාගත දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා ඉදිරියට" (A Small Air Force: Way Forward in Achieving Future Vision) යන තේමාව යටතේ අනාගතයේ දී කුඩා ගුවන් හමුදාවන්ගේ කාර්යභාරය ගවේෂණය කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇති අතර එමඟින් ජාතික  ආරක්ෂාවට තර්ජනයක් විය හැකි කරුණු සඳහා ප්‍රායෝගික විසඳුම් ලබා දීමේදී ගුවන් බලයේ උපායමාර්ගික මැදිහත්වීමේ වැදගත්කම මෙන්ම ආරක්ෂක ගැටළු, ගෝලීය උණුසුම සහ ස්වාභාවික විපත් වැනි පුළුල් වන ගෝලීය ගැටළු කෙරෙහිද අවධානය යොමු කෙරේ.