ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බලකා කණ්ඩායම එංගලන්ත “කේම්බ්‍රියන් මුර සංචාර අභ්‍යාසය 2019” සදහා සහභාගී වී ජයග්‍රහණය කරයි

ඔක්තෝම්බර් 24, 2019

බ්‍රිතාන්‍ය හමුදාවේ ජාත්‍යන්තර “කේම්බ්‍රියන් මුර සංචාර අභ්‍යාසය” සදහා සහභාගී වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ “විශේෂ බලකා කණ්ඩායම” ලෝකඩ පදක්කමක් දිනා ඇත. යුද්ධ හමුදා මාධ්‍යට අනුව පසුගිය සතියේ මිඩ්වේල්ස්හි පැවති අභ්‍යාසය සදහා විශේෂ බලකා නිලධාරීන් තිදෙනෙකු සහ සෙසු නිළයින් හත් දෙනෙකු සහභාගී වී ඇත.

කේම්බ්‍රියන් මුර සංචාර අභ්‍යාසය යනු බ්‍රිතාන්‍ය හමුදාවේ ප්‍රමුඛතම මෙන්ම ලෝකයේ දුෂ්කරතම  මුර සංචාර වලින් එකකි. මෙය වේල්ස්හි පැවැත්වෙන අතර මේ සදහා 160 වන (වේල්ස්) බළසේනා මූලස්ථානය සත්කාරකත්වය සපයනු ලබයි. අභියෝගාත්මක මුර සංචාරයන් සැපයීම තුළින් මෙහෙයුම් හැකියාවන් වැඩි දියුණු කිරීමේ අරමුණින් මෙම අභ්‍යාසය සිදුකරයි.

එම රටේ ශීත කාලගුණය පැවතියදී, අභියෝගාත්මක අභ්‍යාසය 15 වන අඟහරුවාදා දින ආරම්භ කර 18 වන සිකුරාදා දින සාර්ථකව අවසන් කල ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බලකා කණ්ඩායම ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය.

බ්‍රිතාන්‍ය හමුදා 160 වන බළසේනාවේ බළසේනාධිපති ඒ එස් රිච්මන්ඩ්, ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය උපදේශක (ආරක්ෂක) සහ ආරක්ෂක උපදේශක බ්‍රිගේඩියර් ස්වර්ණ බෝතොට විශේෂ බලකා කණ්ඩායමට ලෝකඩ පදක්කම පිරිනැමීමේ උත්සවය සදහා සහභාගී විය.