යුද්ධ හමුදා භටපිරිස් විසින් උතුරු ප්‍රදේශය තුළ ප්‍රජා සත්කාරක වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරයි

ජුනි 10, 2019

පසුගිය සතියේ (ජුනි 07) කඩ්ඩුවාන් ප්‍රදේශයේ පැවති උත්සවයකදී යුද්ධ හමුදා භටපිරිස් විසින් ඉදිකරන ලද නිවසක් සහ සනීපාරක්‍ෂක ඒකක 18 ක් ප්‍රතිලාභී පවුල් වෙත ලබාදීම සිදුකරන ලදී. යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය විසින් සිදුකරනු ලබන ප්‍රජා සත්කාරක ව්‍යාපෘතීන් යටතේ සිදුකරන ලද මෙම නිවාස සහ සනීපාරක්‍ෂක ඒකක 18 ඉදිකිරිම සඳහා ආදී ආනන්දීය 82 වන කණ්ඩායම පූර්ණ මුල්‍ය දායකත්වය ලබාදී ඇත.

මේ අතර, මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භට පිරිස් විසින් මුලතිව් දිස්ත්‍රික්කය තුළ පවත්වනු ලැබූ ‘රට වෙනුවෙන් එකටසිටිමු’ ජාතික සංවර්ධන ව්‍යාපෘතියට සමගාමීව එම ප්‍රදේශයන්ට අදාළ වාරීමාර්ග සහ කෘෂිකාර්මික කටයුතු සංවර්ධනය කිරීම වෙනුවෙන් සිදුකරන ලද ව්‍යාපෘතීන් මෙන්ම මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක්ද ඉකුත් සදුදා (ජුනි 3) දින සිට ක්‍රියාත්මක කරන ලදී.

මේ යටතේ හමුදා භටපිරිස් සහ ප්‍රදේශයේ සිවිල් ජනතාව එක්ව තණ්නිමුරුප්පු වැව් බැම්ම පිරිසිදු කරන ලදී. ඒ අතර භට පිරිස් සහ පාසල් සිසුන් එක්ව සින්නාරූ කලපුවේ ඉවුරු සහ වෙරළ ආශ්‍රිත ප්‍රදේශයන්හිද සුද්ධ පවිත්‍ර කටයුතු වල නිරතවී තිබිණි. තවද මුලතිව් නගරය අවට කුඹුක්, කොහොඹ සහ රෝසියා පැල සිටුවීමේ ව්‍යාපෘතියක් ද දියත්කරන ලදී.

මෙයට සමගාමීව හමුදා භටපිරිස් විසින් පුදුකුඩිඉරිප්පු මහා විද්‍යාලයේ සහ මුල්‍ලියවේලී මහ විද්‍යාලයන්හිදී මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව වූ මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක්ද සංවිධානය කර තිබිණි.