ජපානය සහ ශ්‍රී ලංකාව අතර ආරක්‍ෂක සහයෝගිතා සහ හුවමාරුව පිළිබද අවබෝධතා ගිවිසුමක්

ජුලි 26, 2019

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන මහතා සහ ජපාන ආරක්‍ෂක අමාත්‍ය කෙන්ජි හරදා (Kenji Harada) මහතා අතර ආරක්‍ෂක සහයෝගිතා සහ හුවමාරුව පිළිබද අවබෝධතා ගිවිසුමක් අද (ජූලි 26) දින අත්සන් තැබුණි.

මෙම අවස්ථාවට ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කොට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතාද සහභාගී විය. ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එන් කේ ජී කේ නැම්මවත්ත මහතා විසින් දූත පිරිස අමාත්‍යාංශ පරිශ්‍රයේදී පිළිගන්නා ලදී.

ජපාන ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයාගේ නායකත්වයෙන් යුත් ජපාන දූත පිරිස සහ ශ්‍රී ලංකා දූත පිරිසේ නායකත්වය ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන මහතා විසින් දැරූ අතර දෙපාර්ශවය අතර පැවති සාකච්චාවේදී මෙම අවබෝධතා ගිවිසුමට එළඹුණි.

අවබෝධතා ගිවිසුමට අනුව සමුද්‍රීය ආරක්ෂාව, නාවික සහයෝගීතාව, තොරතුරු හා දැනුම හුවමාරු කර ගැනීම, හැකියාවන් වර්ධනය, සංවාදයන්, පුහුණුවීම් , අධ්‍යාපනය සහ පර්යේෂණ, බහු පාර්ශ්වීය හුවමාරුවන් යනාදී ක්ෂේත්‍රයන්ට අදාලව ජපානය සහ ශ්‍රී ලංකාව අතර වැඩි සහයෝගයක් හා එකගත්වයක් ඇතිවනු ඇත.

මෙම අවස්ථාවට එක්වෙමින් ජපාන ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය කෙන්ජි හරදා මහතා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට සියශෝකය ප්‍රකාශ කරමින් කියා සිටියේ ජපානය මෙවැනි ක්‍රියාවන් හෙළා දකින බවත් ශ්‍රී ලංකාව හා ජාත්‍යන්තර ප්‍රජාව සමග එක්ව ත්‍රස්තවාදයට එරෙහිව ඉදිරියටත් සටන් කරන බවත්ය. තම රට තවදුරටත් ආරක්‍ෂක සහයෝගීතාව වර්ධනය කර ගනිමින් ශ්‍රී ලංකාව සමඟ හුවමාරුවන් සිදු කර ගන්නා බවත් ඔහු පැවසීය.

ශ්‍රී ලංකාව වැනි රටවල් ද ඇතුළත්ව ඉන්දු පැසිෆික් කලාපයේ වෙරළාරක්‍ෂක ජාතීන්ගේ සමුද්‍රීය ආරක්‍ෂාව පිළිබඳ හැකියාවන් වැඩි දියුණු කිරීමට සහ සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමට ජපානය සහාය වන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත්වූවන් වෙනුවෙන් ශෝකය පත් කිරීම පිළිබඳව රාජ්‍ය අමාත්‍ය විජේවර්ධන මහතා ජපාන ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයාට ස්තූතිය පුද කරන ලදී. දෙරට අතර සමීප සහයෝගීතාවයක් අපේක්ෂා කරන බවත් රටේ දකුණු මුහුදු තීරයේ මුහුදු මාර්ග විවෘත හා නිදහස්ව තිබිය යුතු අතර මේ සම්බන්ධයෙන් ජපානය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට අපේක්ෂා කරන බවද ඔහු පැවසීය.

විශේෂයෙන් වෙරළාරක්ෂක බලකායට ලබා දුන් සහයෝගය පිළිබඳව ජපාන රජයට ඔහු සිය ස්තුතිය පළ කළ අතර වෙරළාරක්ෂක බලකායට යාත්‍රා දෙකක් හා පුහුණුවීම් ලබා දීම පිළිබඳව විශේෂ ස්තූතිය පුද කරන ලදී.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය බලාපොරොත්තු නොවූ සිදුවීමක් බවත් ත්‍රස්තවාදයට එරෙහිව ලොව අනෙක් රටවල් සමඟ කටයුතු කරන බවත් රාජ්‍ය අමාත්‍ය විජේවර්ධන මහතා පැවසීය.ජපානය විසින් ලබාදෙන අඛණ්ඩව සහයෝගයට ඔහු ස්තූතිය පුද කළේය.

මෙම අවස්ථාවට ජපාන තානාපති අකිරා සුගියාමා (Akira Sugiyama)  මැතිතුමා, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, නාවික හා ගුවන් හමුදාධිපතිවරුන්, අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, වෙරළ ආරක්‍ෂක දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල්, ජපාන තානාපති කාර්යාලයේ නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද සහභාගී වූහ