ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපති ලෙස වැඩ භාර ගනී.

දෙසැම්බර් 06, 2019

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRCSL) සභාපතිවරයා ලෙස ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා අද වැඩ භාර ගත්තේය.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභා ප්‍රධාන කාර්යාලයේදී එහි කාර්ය මණ්ඩලය අමතමින් එතුමන් කියා සිටියේ මෙම රජය විසින් රට සංවර්ධනය කිරීම සඳහා නිවැරදි මාවතකට යොමු වනු ඇතැයි ජනතාව බොහෝ බලාපොරොත්තු තබා ඇති බවත්, රාජ්‍ය අංශය විසින් ඔවුන්ගේ අභිලාෂයන් හොඳින් ඉටුකිරීමට කටයුතු කල යුතු බවත්ය.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා යටතේ අප හට හොඳ නායකත්වයක් මේ වන විට ලැබී තිබෙන බවත් සිංගප්පූරු නායකයින් සැමවිටම තම ජනතාවට මතක් කර දෙන්නේ තමන් විසින් රට වෙනුවෙන් ලබා දෙන දෙයට වඩා තව වැඩිපුර දෙයක් ලබා දී පෙරට වඩා රට වෙනුවෙන් සේවය කරන ලෙසයි. ඔවුන් විසින් විශාල ඩිජිටල් තිරවල ‘Give little bit more’ යන පණිවිඩය පෙන්වන බවද එතුමන් පැවසිය.

“මා ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ ඔබ විසින් දැනට ලබා දෙන සේවයට වඩා ඔබගේ සේවය තව ටිකක් වැඩිපුර ලබා දෙන ලෙසත්, වැඩිපුර සේවය ලබා දීම සඳහා හොඳින් ක්‍රියා කරන ලෙසත්ය. රාජ්‍ය අංශයේ සේවකයින් වශයෙන් ඔබේ උරහිස් මත වැඩි වගකීම් පැවරී ඇති නමුත් රටේ සංවර්ධනය සඳහා ඔබේ සේවයෙන් වැඩි ප්‍රමාණයක් ලබා දෙන්න” මේජර් ජෙනරාල් ගුණරත්න මහතා  පැවසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ වන ස්මාර්ට් ශ්‍රී ලංකා සංකල්පය යටතේ ආරක්ෂක අමාත්‍යාංශයේ විෂය පථයට අයත් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් 5G තාක්‍ෂණය දිවයින පුරා ව්‍යාප්ත කරනු ඇත.

මෙම අවස්ථාවට පැමිණි ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් ගුණරත්න මහතා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂක ජෙනරාල් ඕෂධ සේනානායක මහතා විසින් පිළිගන්නා ලදී.