වයිස් අද්මිරාල් පියල් ද සිල්වා 23 වන නාවික හමුදාධිපති ධූරයට

ජනවාරී 02, 2019

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 23 වන නාවික හමුදාධිපති ලෙස වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ඊයේ (ජනවාරි 01) දින සිය ධුරයෙහි රාජකාරි ආරම්භ කළ බව නාවික හමුදා නිල වෙබ් අඩවිය පවසයි. අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා විසින් නාවික හමුදා චාරිත්‍රානුකූලව නාවික හමුදාධිපති ධූරයේ රාජකාරීන් බාරදීම සංකේතවත් කරමින් ‘අද්මිරාල් අසිපත’ නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා වෙත නාවික හමුදා මුලස්ථානයේ දී භාර දෙන ලදී.

අතිගරු ජනාධිපති හා ත්‍රිවිධ හමුදා සේනාධිනායක මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා වයිස් අද්මිරාල් නිලයට උසස් කිරීමෙන් අනතුරුව, 2019 ජනවාරි 01 දින සිට ශ්‍රී ලංකා නාවික හමුදාවේ 23 වන නාවික හමුදාපතිවරයා ලෙස පත් කර ඇත.

නාවික හමුදාපති ධූරයට පත්වීමට පෙර වයිස් අද්මිරාල් සිල්වා, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානි තනතුරෙහි රාජකාරි කරනු ලැබිය.

වයිස් අද්මිරාල් සිල්වා මහතා අම්බලන්ගොඩ, ධර්මාශෝක විද්‍යාලයේ දීප්තිමත් ආදී ශිෂ්‍යයෙක් වන අතර, එතුමා 1984 වර්ෂයේදී 12 වන ශිෂ්‍යභට නිලධාරී බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවට එක් වී ඇත. මූලික පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව 1986 පෙබරවාරි මස දී එතුමා උප ලුතිනන් වරයෙකු වශයෙන් අධිකාරියට පත් වන ලදී.

වයිස් අද්මිරාල් සිල්වා මහතා මානව සම්පත් කළමනාකරණය, ව්‍යාපාර කළමණාකරණය මෙන්ම යුද්ධෝපාය සහ ආරක්ෂක විද්‍යාවේදී උපාධීන් හට හිමිකම් කියයි. තවද එතුමන් චීනයේ ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ විද්‍යාපති උපාධියක් ද හිමි කර ගෙන ඇත.

තවද, එතුමන් ගැඹුරු මුහුදේ කිමිදුම් හා ගලවා ගැනීම් මෙන්ම මුහුදු බෝම්බ නිශ්ක්‍රිය කිරීම පිළිබඳ විශේෂඥ පාඨමාලාවක් හදාරා ඇත.

එමෙන්ම, සෑම අතින්ම දක්‍ෂ ක්‍රීඩකයෙකු වන වයිස් අද්මිරාල් සිල්වා මහතා, ඔහුගේ සේවා කාලය තුල අවස්ථා දෙකකදී නාවික හමුදාවේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන ලබා ඇති අතර, ශ්‍රී ලංකා ජාතික පැසිපන්දු කණ්ඩායම නියෝජනය කරමින් අවස්ථා කිහිපයකදීම දකුණු ආසියානු සහ ආසියානු පැසිපන්දු තරඟාවලි සඳහා ද සහභාගීවී ඇත.
නාවික නිලධාරියෙකු වශයෙන් සිය මව්බිම වෙනුවෙන් ඉටු කළ අනගිභවනීය මෙහෙවර වෙනුවෙන් වීර වික්‍රම විභූෂණ පදක්කමින් දෙවතාවක් පිදුම් ලැබූ හෙතම, රණ වික්‍රම පදක්කම, රණ ශූර පදක්කම, විශිෂ්ඨ සේවා විභූෂණ පදක්කම සහ උත්තම සේවා පදක්කම ඇතුළු පදක්කම් රාශියකින් ද සම්මානයන්ට පාත්‍ර වී ඇත.

ඔහු අරුන්දිති ජයනෙත්ති මහත්මිය සමඟ විවාහ වී සිටින අතර යෙහාන් සහ දුලින නම් පුතුන් දෙදෙනාගෙ ආදරණිය පියා ද වේ.