ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල සේවිකාවගේ සිදුවීම පිළිබද විමර්ශනයේදී නිසි ක්‍රියාදාමයන් අනුගමනය කර ඇත - විදේශ අමාත්‍ය ගුණවර්ධන

දෙසැම්බර් 19, 2019

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාව සම්බන්ධ සිද්ධිය පිළිබදව විමර්ශනය කිරීමේදී දෙරටම ගරු කරන්නාවූ ජාත්‍යන්තර සම්මතයන්ට අනුකූලව සෑම පියවරකදීම ඊට අදාළ නිසි ක්‍රියාදාමයන් අනුගමනය කර ඇති බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ස්විට්සර්ලන්ත විදේශ අමාත්‍ය ඉග්නාසියෝ කාස්සිස් මහතා වෙත  සහතික කළේය.

අමාත්‍ය ගුණවර්ධන මහතා ස්විට්සර්ලන්ත විදේශ ඇමති කාස්සිස් මහතා සමඟ සිදු කළ දුරකථන සංවාදයකදී අදාළ සේවිකාව වන ගානියාර් බැනිස්ටර් ෆ්රැන්සිස් හට දිය හැකි සියලු පහසුකමක්ම ලබා දී ඇති බවත් ඇගේ සියලු අයිතිවාසිකම් ආරක්ෂා කර ඇති බවත් නැවත තහවුරු කර ඇත.

 

මාධ්‍ය නිවේදන

ස්විට්සර්ලන්ත දූත මණ්ඩලයේ ශ්‍රී ලාංකික සේවිකාව අත්අඩංගුවට ගැනීම පිළිබඳව ශ්‍රී ලංකාවේ හා ස්විට්සර්ලන්ත විදේශ අමාත්‍යවරු අදහස් හුවමාරු කර ගනියි

ගානියාර් බැනිස්ටර් ෆ්රැන්සිස් නම් ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ශ්‍රී ලාංකික සේවිකාවගේ තත්ත්වය සම්බන්ධයෙන් ස්විට්සර්ලන්තයේ විදේශ අමාත්‍ය ඉග්නාසියෝ කාස්සිස් මහතාගෙන් දුරකථන පණිවුඩයක් අද සැන්දෑයාමයේ (දෙසැම්බර් 18) විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත ලැබී තිබේ. ඇයව බලහත්කාරයෙන් පැහැර ගත් බව කියා සිටීම තුළින්, රජයට එරෙහිවීම හා අධිකරණමය ක්‍රියාවලියක ඕනෑම අදියරකදී භාවිතයට ගැනීමේ අරමුණින් අසත්‍ය සාක්ෂි ගෙතීම් පිළිබඳ සාපරාධි චෝදනාවක් සාධාරණීකරණය කළ හැකි දණ්ඩ නීති සංග්‍රහයේ 120 හා 190 වගන්ති යටතේ වැරදි සිදු කරන ලදැයි සාධාරණ සැකය මත ඇය දැනට අත්අඩංගුවේ පසුවෙයි.

දෙරට අතර සතුටුදායක මට්ටමින් පවත්නා හා ද්විපාර්ශ්වික සබඳතා සැළකිල්ලට ගනිමින්, මෙම ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ලබා දිය හැකි සියලුම සහයන් ලබා දෙන ලෙස ස්විට්සර්ලන්ත අමාත්‍යවරයා මෙහිදී ඉල්ලීමක් කර තිබේ.

ෆ්රැන්සිස් මහත්මිය ශ්‍රී ලාංකික පුරවැසියෙකු වීම හා මෙම සිද්ධිය දැනට අධිකරණයේ විභාග වෙමින් පැවතීම කෙරෙහි අවධානය යොමු කරමින්, ශ්‍රී ලංකාවේ බලපැවැත්වෙන නීතියට අනුකූලව ශ්‍රී ලංකා රජයට මේ සම්බන්ධයෙන් කළ හැකි සියල්ලක් ම සිදු කරනු ඇතැයි අමාත්‍ය ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. ඇයට ලබා දිය හැකි සියලුම පහසුකම් ලබා දී ඇති බවත්, ඇයගේ සියලුම අයිතිවාසිකම් ආරක්ෂා කර ඇති බවත් අමාත්‍ය ගුණවර්ධන මහතා මෙහිදී තරයේ ප්‍රකාශ කළේය.

අඟහරුවාදා (දෙසැම්බර් 17) දින ස්විට්සර්ලන්ත විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය පිළිබඳව සඳහන් කරමින්, ශ්‍රී  ලංකාව දේශීය නීතියට හා ජාත්‍යන්තර අධිකරණ සම්මතයන්ට පූර්ණ වශයෙන් අනුකූලව කටයුතු කර ඇති බවත් අප රට සම්බන්ධයෙන් සත්‍යයයි කියනු ලබන ප්‍රකාශ සියල්ලම කරුණුමය වශයෙන් සාවද්‍ය වන බවත් විදේශ අමාත්‍ය ගුණවර්ධන මහතා අවධාරණය කළේය. මෙම සිද්ධිය මුලින්ම වාර්තා වූ අවස්ථාවේ සිට, මෙම සිදු වූවා යැයි කියන සිද්ධිය සිදු වීමෙන් දින 13කට පසුව ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය විසින් ෆ්රැන්සිස් මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීම ඇතුළුව මේ දක්වා ගනු ලැබූ පියවර සියල්ලම මුල සිට අගට විස්තරාත්මක වශයෙන් පැහැදිලි කළේය. දෙරටම ගරු කරන ජාත්‍යන්තර සම්මතයන්ට අනුව, සෑම පියවරකදීම යථා පරිදි කටයුතු කර තිබෙන බව ඔහු අවධාරණය කළේය.

ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමට ඇප කැපවන බව සහතික වෙමින් අමාත්‍ය ගුණවර්ධන මහතා, විදේශ අමාත්‍යංශය, කොළඹ සිටින ස්විට්සර්ලන්ත තානාපතිවරයා සමඟ මේ සම්බන්ධයෙන් ඉදිරි සාකච්ඡා අඛණ්ඩව සිදු කරන බවට එකඟතාවය පළ කළේය.

අනුග්‍රහය : විදේශ සබඳතා අමාත්‍යාංශය