අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 13ක පීඩා

දෙසැම්බර් 23, 2019

*  ත්‍රිවිධ හමුදාව, පොලිසිය අවතැන් වුවන් මුදා ගැනීමේ මෙහෙයුම්වල

*  පවුල් 19095 ක අයත් පුද්ගලයින් 65294 දෙනෙකු අවතැන් කඳවුරුවල

*  පුද්ගලයින් 15510 ක් ආරක්ෂිත ස්ථාන 123 ක ස්ථානගත කර ඇත.

දිවයින තුළ මේ වන විට උද්ගත වී ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 13 ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 112 කට අයත් ජනතාව ආපදාවන්ට ලක්වී සිටි. පවුල් 19095 කට අයත් පුද්ගලයින් 65294 දෙනෙකු ආපදා තත්ත්වයට මුහුණපා ඇති බව අනාවරණය වී ඇත.

මෙසේ අවතැන් වු  පවුල් 4704 කට අයත් පුද්ගලයින් 15510 දෙනෙකු ආරක්ෂක ස්ථාන 123 ක මේ වන විට ආරක්ෂිතව සිටින බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය වාර්ථා කරයි.

පසුගිය දින කිහිපයේදී ඇද හැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් විශේෂයෙන් උතුරු, නැගෙනහිර, උතුරු මැද, මධ්‍යම සහ ඌව යන පළාත්වලට අයත් දිස්ත්‍රික්ක 13 ක් මෙම ආපදා තත්ත්වයට මුහුණ පා ඇත.. ආපදාවන්ට මුහුණ පා සිටින ජනතාවට අවශ්‍ය සහන සේවා කටයුතු සහ මුදා ගැනීමේ කටයුතු ආරක්ෂක අමාත්‍යංශයේ පුර්ණ අධික්ෂණ්‍ය යටතේ සිදුවෙමින් පවතින අතර  ඒ ඒ දිස්ත්‍රික්කයන්ට අයත්  දිසාපතිවරුන් සහ ප්‍රාදේශිය  ලේකම්වරුන්ගේ මඟපෙන්වීම යටතේ ජාතික සහන සේවා මධ්‍යස්ථානය ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සහ ත්‍රිවිධ හමුදාව විසින් ආපදාවන්ට මුහුණ පා ඇති පුද්ගලයන් සඳහා වියළි ආහාර බෙදා හැරිමේ කටයුතු වල නිරත වී සිටියි.

ආපදාවන්ට ලක්වු  ප්‍රදේශවල සහන කටයුතු සහ මුදා ගැනීමේ කටයුතුවල ත්‍රිවිද හමුදාව සහ පොලිසිය මේ වන විට නිරත වි සිටියි. එමෙන්ම ත්‍රිවිද හමුදාව ආපදා මෙහෙයුම්  කටයුතු සඳහා පැය 24  පුරාම  දැඩි සුදානමකින් පසුවන බව යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර  සිල්වා මහතා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේය. එමෙන්ම ආපාදාවන්ට ලක්ව සිටින ජනතාවට අවැසි සහන සේවා වඩාත් කාර්යක්ෂමව සිදුකිරිමටත්, ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරිම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙසත් අතිගරු ජනාධිපතිතුමන් සහ ආරක්ෂක ලේකම්තුමන් තමන්ට උපදෙස් ලබාදුන් බව යුද්ධ හමුදාධිපති ශවේන්ද්‍ර සිල්වා මහතා  කියා සිටියේය.

එවගේම අයහපත් කාලගුණය හේතුවෙන් නිවාස 62 මුළුමනින්ම විනාශ වි ඇති අතර  නිවාස 1463 ක් අර්ධ වශයෙන් විනාශ වී ඇති බැවින් මෙම නිවාස නැවත අලුත් වැඩියා කිරීමේ කටයුතු සඳහා ජාතික රක්ෂණ අරමුදල මඟින්  ප්‍රතිපාදන වෙන් කොට ඇත.

විශේෂයෙන් මාතලේ දිස්ත්‍රික්කයේ  නායයෑම් අවදානම පිළිබඳව නිකුත් කරනු ලැබු රතු නිවේදනය දිගටම බල පැවැත්වෙන බවත්, මාතලේ දිස්ත්‍රික්කයේ යක්කල, පල්ලේවත්ත, නාඋල, විල්ගමුව සහ රත්තොට යන ප්‍රදේශයන්ද නායයෑමේ  අවදානමට ලක්විය හැකි බව ප්‍රකාශයට පත් කර ඇත. එමෙන්ම මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර, යටිදුම්බර ප්‍රදේශයන් ද, නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රදේශයටත්, බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල, වැලිමඩ සහ හාලිඇල  ඌව පරණගම ප්‍රදේශයටත්,රත්නපුර දිස්ත්‍රික්කයටත් මෙම නායයෑමේ අවදානම පවතින බවට අනතුරු ඇගවීම් සිදුකර ඇත.

ඒ සමඟම පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පරාක්‍රම සමුද්‍රයත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගනය, අංගමුව , කලාවැව, නාච්චදුව, යාන්ඔය  ජලාශයන්ද පුත්තලම දිස්ත්‍රික්කයේ තබ්බෝව, ඉගිනිමිටිය, කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැදුරුඔය, අඹකොලවැව යන ජලාශයන්ද අම්පාර දිස්ත්‍රික්කයේ රඔකැන්ඔය, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුනුගම්වෙහෙර ජලාශය ද මඩකලපුව දිස්ත්‍රික්කයේ උන්නච්චි, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කන්දලායි වැවද කිලිනොචිචි ඉරණමඩු වැව්වල වාන් දොරටු වීවෘත කර ඇති අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැය 24 පුරාම අවධානයෙන් සිටින ලෙස එම ප්‍රදේශවල ජනතාව වෙත දන්වා සිටී.