යුද්ධ හමුදා පැරා ක්‍රිඩා උළෙල මෙවර 22 වන වරට

දෙසැම්බර් 28, 2019

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ රෙජිමේන්තු 11 ක් නියෝජනය කරමින් විවිධ හැකියාවන් සහිත සෙබළුන් 700 කට අධික පිරිසක් මෙවර 22 වන වතාවට පැරා ක්‍රීඩා උළෙලේදී තරඟ වදී. ක්‍රීඩා උළෙල සිකුරාදා (දෙසැම්බර් 27) දින කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ විය.

යුධ හමුදා මාධ්‍යට අනුව, යුධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දුනු විදීම, බැඩ්මින්ටන්, පාපැදි ධාවනය, වෙඩි තැබීම, මේස පන්දු, සවි එසවීම, රෝද පුටු මැරතන්, ටෙනිස්, බීච් වොලිබෝල්, ඔරු පැදීම, පිහිණීම ඇතුළු ජවන හා පිටිය ක්‍රීඩා ඉසව් සඳහා තෙදිනක් පුරා පැවැත්වෙන ක්‍රීඩා උළෙලේදී සහභාගී වනු ඇත.

ක්‍රීඩා උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ලුතිතන් ජෙනරාල් ශවේද්‍ර සිල්වා මහතා සහභාගී විය. ඔලිම්පික් පහත දැල්වීමෙන් පසුව සම්ප්‍රදායික ලෙස ක්‍රීඩා උළෙලේ ආරම්භය සනිටුහන් විය.

පැරා ක්‍රීඩා උළෙල සඳහා අනුග්‍රාහකත්වය දක්වනු ලබන්නේ ඩයලොග් ආසියාටා පීඑල්සී විසිනි.  

මෙම අවස්ථාවට යුධ හමුදා පැරා ක්‍රීඩා කමිටුවේ සභාපති මෙන්ම යුධ හමුදා මූලස්ථානයේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් නිර්මාල් ධර්මරත්න, ජ්‍යෙෂ්ඨ යුද්ධ හමුදා නිලධාරීන් සහ සෙබළුන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

වර්ෂ 1991 දී හමුදා ආබාධිත ක්‍රීඩා උළෙල නමින් ආරම්භ කල තරඟාවලිය පසුකාලීනව වර්ෂ 2010 වර්ෂයේ දී ශ්‍රී ලංකා යුද්ධ හමුදා පැරා ක්‍රීඩා තරඟාවලිය ලෙස නම් කරන ලදි.   

තම ආබාධිත තත්වය නොසලකමින් විවිධ හැකියාවන්ගෙන් පරිපූර්ණ හමුදා සෙබළුන්ට ඔවුන්ගේ සහජ ක්‍රිඩා හැකියාවන් පෙන්නුම් කරවීමට මෙන්ම ඔවුන්ගේ මානසික ස්ථාවරත්වය සහ ක්‍රීඩා කුසලතා තවදුරටත් ඔප් නැංවීමට මහඟු අවස්ථාවක් මෙම ක්‍රීඩා උළෙල මගින් ලබාදේ.  

ක්‍රීඩා උළෙලේ අවසානය සනිටුහන් කරමින් ඉදිරි (දෙසැම්බර් 29) දින පැරා ක්‍රීඩා උළෙලේ මහා සම්මාන උළෙල සහ අවසන් දින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සම්මාන පිරිනැමීම සිදුවේ.