ආරක්‍ෂක ලේකම්තුමන් සේවය අවසන් කර ඉවත්ව යන තුර්කි තානාපතිවරයාට සමුදෙයි

දෙසැම්බර් 30, 2019

-  පාස්කු ඉරිදා පල්ලිවලට එල්ල කරන ලද  ප්‍රහාරවලට මුස්ලිම් ප්‍රජාවගේ කිසිදු සම්බන්ධතාවයක් නොමැති  බව තුර්කි තානාපති පවසයි.
-  සියලුම ප්‍රජාවන් ආරක්‍ෂිත බවත් සියලුම ප්‍රජාවන්ට එක හා සමානව සලකන බවත් ආරක්ෂක ලේකම් පවසයි.  

සේවය අවසන් කර යලි සිය රට බලා යන තුර්කි තානාපති ටුන්කා ඔසුහාඩා මහතා (Tunca Ozcuhadar) සඳුදා (දෙසැම්බර් 30) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා හමුවිය. මෙහිදී ඔවුන් දෙදෙනා ආරක්‍ෂාව පිලිබඳ,  ද්විපාර්ශ්වික සබඳතා, දෙරට අතර ආරක්‍ෂක හමුදාවන් සඳහා පුහුණු අවස්ථා වැඩි දියුණු කිරීම, බුද්ධි දැනුම හුවමාරු කර ගැනීම සහ ද්විපාර්ශ්වික සහයෝගීතාව වැඩි දියුණු කිරීම ඇතුළු විෂයයන් කිහිපයක් පිළිබඳ සාකච්ඡාවක නිරතවූහ.  

පසුගිය අපේ‍්‍රල් මාසයේ එල්ලවූ පාස්කු ඉරිදා ප‍්‍රහාරවලට මුස්ලිම් ප්‍රජාව සම්බන්ධ නොවූ බවත් මුස්ලිම් ප‍්‍රජාව සැමවිටම රජයට සහ රටේ ජනතාවට සහයෝගය දක්වන බවත් තානාපතිවරයා පැවසීය.  

ඊට ප්‍රතිචාර දක්වමින් මේජර් ජෙනරාල් ගුණරත්න මහතා කියා සිටියේ, ප්‍රජාවන් දෙක අතර යම් ආරවුලක් ඇති වූ මහනුවර දිගන ප්‍රදේශයේ ඇති වූ සිදුවීම වැනි සිදුවීම් වත්මන් රජය යටතේ සිදුනොවන බවත්, සියලු දෙනාගේ  ආරක්‍ෂාව සහතික කිරීම සඳහා වැරදිකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමට පූර්ණව කැපවී සිටින බවත්ය.  

ඔහු තවදුරටත් පැවසුවේ ජනවාර්ගිකත්වය සහ ආගම කුමක් වුවත් රටේ ජනතාව ශ්‍රී ලාංකිකයන් ලෙස සලකා සැමට සමානව සලකනු ඇති බවය.  

මේජර් ජෙනරාල් ගුණරත්න මහතා පැවසුවේ ඉස්ලාමය යනු ප්‍රජාවන් අතර සමගිය දේශනා කරන සාමයේ ආගමක් බවත් නොමග ගිය තරුණයින් කිහිප දෙනෙකුගේ ක්‍රියාවන් එම ශ්‍රේෂ්ඨ ආගමට ආදේශ කළ නොහැකි බවත්ය.  

තුර්කි තානාපතිවරයාගේ ශ්‍රී ලංකාවේ සේවය කල සේවා කාලය පිළිබඳ ස්තූතිවන්ත වෙමින් ආරක්‍ෂක ලේකම්වරයා ඔහුගේ සියලු ඉදිරි කටයුතු සඳහා සුබ පැතුම් එක් කළේය.  

කොළඹ තුර්කි තානාපති කාර්යාලයේ තුන්වන ලේකම් නාසාන් ඩෙනිස් ද මෙම අවස්ථාවට සහභාගී විය.