අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා 2020 ජනවාරි මස 01 දින සිට වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කෙරේ

දෙසැම්බර් 31, 2019

ලුතිනන් ජෙනරාල් එල් එච් එස් සී සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී 2019 අගෝස්තු මස 18 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 23 වන යුද්ධ හමුදාධිපති ලෙස පත්විය.  

ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නව යුද්ධ හමුදාධිපති ලෙස පත්වන අවස්ථාව වන විට ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති සහ කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මෙන්ම යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරය ද හොබවනු ලැබීය. වර්ථමානයේද එතුමා විශේෂ බළකායේ රෙජිමේන්තු අධිපති තනතුර හොබවයි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය බිහිකල විශිෂ්ඨ නිලධාරියෙකු වන මොහු පාසල් අධ්‍යාපනයෙන් අනතුරුව වර්ෂ 1984 මාර්තු මස 5 වන දින පාඨමාලා අංක 19 හි කෙඩේට් නිලධාරීවරයෙකු වශයෙන් යුද්ධ හමුදා විද්‍යාපීඨයට ඇතුලත් විය.

හමුදා පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව වර්ෂ 1985 නොවැම්බර් 16 වන දින අධිකාරියට පත්වූ එතුමන් ගජබා රෙජිමේන්තුව පිහිටුවීමෙන් අනතුරුව ගජබා රෙජිමේන්තු නිලධාරීයෙකු ලෙස ප්‍රථමවතාවට පත් කරන ලද නිලධාරියා ද වේ. එතුමන් 1 වන ගජබා රෙජිමේන්තුවට ඇතුළත් කිරීමෙන් අනතුරුව, අණදෙන නිලධාරිතුමන් විසින් විශේෂ සේවා කණ්ඩායමේ (Special Service Group) කණ්ඩායම් භාර නිලධාරීවරයෙක් ලෙස සේවය කිරීමට අවස්ථාව ලබාදුන් අතර පසුව එම කණ්ඩායම වේගවත්ව යෙදවීමේ බලකායක් (Rapid Deployment Force) ලෙස හඳුන්වනු ලැබු අතර වර්තමානයේ විශේෂ බලකාය (SF) ලෙස ද හඳුන්වයි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තුළ සිටින විවිධ පදක්කම්ලාභී නිලධාරී අතරින් එක් නිලධාරීයෙකු වන ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභීත නිලධාරීයෙකු සඳහා ප්‍රදානය කරන ලද ත්‍රිවිධ පදක්කම් වන වීර වික්‍රම විභූෂණය, රණවික්‍රම පදක්කම හා රණශූර පදක්කම් ආදී පදක්කම් ප්‍රථම වතාවට හිමිවූ දෙවන ලුතිතන්වරයා වශයෙන් යුද්ධ හමුදා ඉතිහාසයෙහි පිටු අතරට එක්වූ එඩිතර නිලධාරියෙකි.

ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය වෙතින් උපාධිය ලැබූ පළමුවන යුද්ධ හමුදාධිපති වරයා වීමේ භාග්‍ය හිමිකර ගත් ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙනත් විදේශීය ආරක්‍ෂක විද්‍යාල වෙතින් ද උපාධි ලබා ඇත.

වර්ෂ 2010 දී එතුමන්ව නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තානාපති සහ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත ලෙස පත් කරන ලදි. ශ්‍රී ලංකාවේ විදේශ දුත මෙහෙර තුළ ‘තානාපති’ තනතුරකට හමුදා සේවයේ යෙදී සිටියදී පත් කරනු ලැබූ ප්‍රථම හමුදා නිලධාරියා ද එතුමන් වේ. එවකට එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා විසින් එක්සත් ජාතීන්ගේ සාම සාධක නියෝජිත මණ්ඩලයේ ඉහළ පෙළේ උපදේශක කමිටුව සඳහා පත් කළ පළමු ශ්‍රී ලාංකීක සාමාජිකයා බවට ද ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත්විය.

හිටපු ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර සී විජේගුණරත්න වසර 39 ක විශිෂ්ඨ හමුදා සේවයකින් පසු දෙසැම්බර් 31 වන දින සිට විශ්‍රාම යාම නිසා එම තනතුරට ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත්විය.