දෙරට අතර සබදතාවය ඉතා හොදින් පවත්වාගෙන යාමට ඉරාන තානාපති අපේක්ෂා කරයි

ජනවාරී 02, 2020

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව සහ මිත්‍රත්වය වැඩිදියුණු කරන ලෙස ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති මොහොමඩ් සයිරි අමිරානි ඉල්ලා සිටියේය.

තානාපති අමිරානි මහතා මේ බව ප්‍රකාශ කළේ ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා අද (ජනවාරි 02) දින සිය කාර්යාලයේදී හමුවූ අවස්ථාවේදීය.

මෙම සුහද සාකච්ඡාවේදී තානාපති අමිරානි මහතා රට තුළ සාමය පවත්වා ගැනීම සඳහා පොලීසිය හා සන්නද්ධ හමුදාවන් මෙහෙයවීම සදහා රජය දක්වන කැපවීම පැසසුමට ලක් කළේය.

තම රටේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව ආරක්ෂක ලේකම්වරයා දැනුවත් කළ ඉරාන තානාපති ඉරානයේදී  ශ්‍රී ලංකා පොලිසියට සහ ත්‍රිවිධ හමුදාවට ලබා දිය හැකි පුහුණු අවස්ථා පිළිබඳව ද දැනුම් දුන්නේය.

ඉරාන තානාපතිවරයාගේ  සුහදතාවයට ස්තූති කරන අතරම ඉරානය සමඟ පවත්නා ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කිරීමට බලාපොරොත්තු වන බව මේජර් ජෙනරාල් ගුණරත්න මහතා පැවසීය.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් ආරක්ෂක ලේකම් සහ ඉරාන තානාපතිවරයා අතර සමරු සිහිවටන හුවමාරුවක්ද සිදුවිය.