යාපනයේ දිළිඳු පවුල් දෙකක් සඳහා තවත් නව නිවාස දෙකක්

ජනවාරී 04, 2019

ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් යාපනය ප්‍රදේශයේ දිළිඳු පවුල් දෙකක් සඳහා ඉදිකරන ලද නව නිවාස දෙකක් පසුගිය බදාදා (ජනවාරි 02) ඔවුන් වෙත බාරදෙන ලද බව යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය පවසයි. යාපනය අර්ධද්වීපයේ කට්කෝලම් සහ අල්වායි ප්‍රදේශ වල ජීවත්වන පවුල් දෙක වෙත මෙම නව නිවාස ඉදිකරදී ඇත.

හොරණ තලාගල ජාත්‍යන්තර බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජ්‍ය තලගල සුමනරතන නාහිමියන්ගේ සහ රෝඩ් තම්බයියා මහතාගේ සහාය ඇතිව යුද්ධ හමුදා භටපිරිස් විසින් මෙම සමාජ සුභසාධන වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.

යාපනය ප්‍රදේශයේ සේවයේ නියුතු යුද්ධ හමුදා භාටපිරිස්හි ශ්‍රම දායකත්වයෙන් සහ තාක්‍ෂණික ඥානයෙන් මෙම නිවාස දෙක මාස තුනක් වැනි කෙටි කාලයක් ඇතුළත ඉදිකර අවසන් කිරීමට හැකිවී ඇත. මහා පරිමාණ නිවාස ව්‍යාපෘති වලට අමතරව, යුධ හමුදා භටපිරිස් විසින් මෙසේ දිළිඳු පවුල් සඳහා ද නිවාස ඉදිකිරිම සඳහා ඔවුන්ගේ ශ්‍රම දායකත්වය, තාක්‍ෂණික දැනුම සහ විශේෂඥ සහාය ලබා දීමට කටයුතු කරයි.

මෙම නිවාස අයිතිකරුවන් වෙත භාරදීමේ චාම් උත්සවය සඳහා යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි, වඩමාරච්චි ප්‍රාදේශීය ලේකම් අල්වයි පිල්ලේ ශ්‍රී මහතා ඇතුළු ජේෂ්ඨ හමුදා නිලධාරින් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.