පොලිස් සහ මහජන ගැටළු විසඳීම සඳහා පොලිස් දුක්ගැනවිලි දිනයක්

ජනවාරී 21, 2020

පොලිසිය පිළිබඳ මහජන පැමිණිලිවලට විසඳුම් සෙවීම සහ පොලිස් නිලධාරීන්ගේ පවතින පරිපාලනමය ගැටළු සහ එම ගැටලු වලට විසදුම් ලබාදීම සඳහා ජනවාරි 29 වන දින බත්තරමුල්ල සුහුරුපායේදී පොලිස් දුක්ගැනවිලි දිනය පැවැත්වේ.  

මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන අභ්‍යන්තර වෙළඳ, ආහාර සුරක්‍ෂිතතාවය හා පාරිභෝගික සුභසාධන අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන සුහුරුපාය 14 වන මහලේදී එළඹෙන බදාදා දින පෙ.ව 9.00 සිට ප.ව 3.00 දක්වා පැවැත් වේ.   

මේ වන විට අයදුම්පත් 200 ක් පමණ නීතිය හා සාමය අංශය වෙත ලැබී ඇති අතර එම අයදුම් පත් අතුරින් තෝරා ගනු ලබන අයදුම්පත්හි ගැටළු විසඳීම සඳහා ඊට අදාළ නෛතික විධිවිධාන සලකා බැලීමෙන් පසු නිර්දේශ සඳහා පොලීසියේ අදාළ අංශ වෙත යොමු කරනු ලබයි.  

ආරක්ෂක අමාත්‍යාංශයේ නීතිය හා සාමය පිළිබද අංශයට අනුව මෙම ගැටලු වලට අදාල කඩිනම් විසදුම් ලබාදීම සඳහා අමාත්‍ය චමල් රාජපක්ෂ සහ වැඩබලන පොලිස්පති සි ඩි වික්‍රමරත්න වෙත මෙම ගැටලු එදින ඉදිරිපත් කරනු ලබයි.  

පොලිස් දුක්ගැනවිලි දිනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි වාර්ෂිකව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර මෙහිදී පොලිස් නිලධාරීන් විසින් වාර්ථා කර ඇති එහෙත් මේ දක්වා අදාල බලධාරීන්ගේ අවධානයට යොමුව නැති නොවිසඳුනු ගැටළු මෙන්ම පොලිසිය පිළිබඳව මහජන පැමිණිලිද සලකා බලනු ඇත.   

පොලිස් දෙපාර්තමේන්තුව මේ වන විට ආරක්ෂක අමාත්‍යාංශයේ නීතිය හා සාමය පිළිබද අංශය යටතේ පවතී.

මහජනතාවට වැඩි විස්තර ලබාගැනීම සඳහා 011 288 6067 දුරකථන අංකය ඔස්සේ සම්බන්ධ විය හැකිය.