යුද්ධ හමුදා භටපිරිස් විසින් උතුරේ සිසුන්ට අධ්‍යාපනික ආධාර ලබා දෙයි

ජනවාරී 07, 2019

පසුගියදා උතුරු ප්‍රදේශයේ දුෂ්කර පළාත්වල පාසල් සිසුන් පිරිසකට පාසැල් උපකරණ තොගයක් පරිත්‍යාග කිරීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා භටපිරිස් විසින් පහසුකම් සලසනු ලැබූ බව යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය පවසයි. කොන්ඩච්චි හා සිලාවතුර හි පිහිටි දුෂ්කර ප්‍රදේශවල ජීවත් වූ සිංහල, දෙමළ හා මුස්ලිම් පවුල්වල පාසල් දරුවන් 39 දෙනෙකු සඳහා පසුගිය සතියේ (දෙසැ 29) කොන්ඩච්චි හි ප්‍රජා ශාලාවේ පැවති උත්සවයකදී මෙම පාසල් උපකරණ තොගය පරිත්‍යාග කරන ලදී. මෙම පරිත්‍යාග සඳහා Baurs Company PLC සමාගම විසින් අනුග්‍රාහකත්වය ලබා දී ඇත.

මේ අතරතුර මන්නාරම දිස්ත්‍රික්කයේ ද සිසුන් අතර පාසල් උපකරණ තොගයක් බෙදාදීමේ වැඩසටහනක් පවත්වන ලදී. මන්නාරම් ප්‍රදේශයේ රාජකාරි කරනු ලබන යුද්ධ හමුදා භටපිරිස් විසින් කරන ලද ඉල්ලීමකට අනුව කොළඹ හැටන් නැෂනල් බැංකුව විසින් මෙම පරිත්‍යාගයන් සඳහා අනුග්‍රාහකත්වය දැක්වීය. පසුගිය සතියේ (දෙසැ 30) පැවති උත්සවයකදී පාසැල් උපකරණ, පාසල් පොත් සහ බෑග් අඩංගු රුපියල් 2500 ක් පමණ වටිනා තෑගී පාර්සල් 170 ක් සිසුන් අතර බෙදාදෙන ලදී.