පුද්ගලික ආරක්ෂක ආයතන විධිමත් කිරීම සදහා කටයුතු කෙරේ - ආරක්ෂක අමාත්‍යාංශය

ජනවාරී 29, 2020

•    ආරක්ෂක භටයින් සඳහා අවම වැටුපක් ළඟදීම හඳුන්වා දෙන බව පවසයි

ආරක්ෂක භටයින් සඳහා අවම වැටුපක් හඳුන්වා දීම, නව ආරක්ෂක සමාගම් ලියාපදිංචි කිරීම සහ බලපත්‍ර අළුත් කිරීම මගින් ආරක්ෂක අමාත්‍යාංශය පුද්ගලික ආරක්ෂක සේවාව තවදුරටත් විධිමත් කරනු ඇත.

ගුණාත්මක ආරක්ෂක සේවාවක් සැපයීම සඳහා දිවයින පුරා ක්‍රියාත්මක වන පුද්ගලික ආරක්ෂක සේවා විධිමත් කිරීමට සැලසුම් කර ඇති බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පැවසීය.

ආරක්ෂක සේවා සපයන්නන්ගේ ලියාපදිංචිය සහ බලපත්‍ර අලුත් කිරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සදහා කඩිනම් ක්‍රියා පටිපාටියක් සකස් කීරීමට  පියවර ගන්නා බව ඔහු පැවසීය.

නව අළුත් කිරීමේ ක්‍රියාවලිය යටතේ සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාර අරමුදල සඳහා පෞද්ගලික ආරක්ෂක සේවාවන්හි දායකත්වය දැඩි ලෙස අධීක්ෂණය කරන බව මේජර් ජෙනරාල් ගුණරත්න මහතා පැවසුවේ.

ශ්‍රී ලංකා ආරක්ෂක සේවා සැපයුම්කරුවන්ගේ සංගමයේ (SLSSPA) සාමාජිකයින් අමතමින් ඔහු ඊයේ (28) සිය සේවකයින් සඳහා ජාත්‍යන්තරව පිළිගත් බලපත්‍ර නිකුත් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.

ගිනි නිවීම්,ප්‍රථමාධාර,ආරක්ෂාව,හදිසි අවස්ථාවන්හි ක්‍රියාකිරීම සහ ආපදා කළමනාකරණ යනාදී ක්ෂේත්‍රයන් ආවරණය වන පරිදි රක්නා ආරක්ෂක ලංකා සමාගමේ උපදෙස් ලබාගෙන ප්‍රමිතිගත පුහුණු පහසුකමක් හඳුන්වා දීමට ඇති අවස්ථාව පිළිබඳව ඔහු ශ්‍රී ලංකා ආරක්ෂක සේවා සැපයුම්කරුවන්ගේ සංගමයට දැනුම් දුන්නේය.

රක්නා අරක්ෂක ලංකා සමාගම යනු වාණිජ අංශයේ ආරක්ෂක අවශ්‍යතා සපුරාලන රජය සතු ව්‍යාපාරයකි.

පවත්නා වැටුප් පරිමානයන් පිලිබඳ සඳහන් කරමින් ආරක්ෂක ලේකම් පෞද්ගලික ආරක්ෂක සේවා ආයතනවලින් ඉල්ලා සිටියේ ඔවුන්ගේ සේවකයින්ට ඔවුන්ගේ සේවා දායකත්වය සහ රටේ ජීවන වියදමට  අනුව සාධාරණ වැටුප් ගෙවන ලෙසයි.

පුද්ගලික අංශයේ ආරක්ෂක සේවා විසින් සපයනු ලබන සේවාවන් අගය කල  මේජර් ජෙනරාල් ගුණරත්න “සටනේදී ඔවුන් ප්‍රශංසනීය කාර්යභාරයක් ඉටු කළ අතර අවශ්‍ය සේවාවන් සඳහා ඔවුන්ගේ සේවාවන් ව්‍යාප්ත කළේය”යැයි පැවසීය.

සේවාවේ තත්ත්වය ඉස්මතු කරමින් ඔහු ශ්‍රී ලංකා ආරක්ෂක සේවා සැපයුම්කරුවන්ගේ සංගමයේ ඉල්ලා සිටියේ මෙම වටිනා සේවාව වාණිජ ව්‍යාපාරයක් ලෙස නොසලකා ජාතික  ආරක්ෂාවේ කොටසක් ලෙස සලකන්න ලෙසය.

 “ජාතික ආරක්ෂාව නොමැති විට රටේ සංවර්ධනයේ කිසිදු ප්‍රගතියක් නොමැති අතර පසුගිය පාලන කාලය තුළ හමුදාවේ අවශ්‍යතා නොසලකා හරින ලදි” ඔහු  පැවසීය.

මෙම අවස්ථාවට ජ්‍යේෂ්ඨ සහකාර ලේකම් (ආරක්ෂක) ප්‍රසන්න කිරිවත්තුඩුව, ජ්‍යේෂ්ඨ සහකාර ලේකම් (සිවිල් ආරක්ෂක) ප්‍රියන්ත සුමනසේකර සහ සහකාර ලේකම් (සිවිල් ආරක්ෂක) ෂිමාලි  දිසානායක යන අයද  සහභාගී වූහ.