රුසියාවෙන් ශ්‍රී ලංකා හමුදාවට පුහුණු පහසුකම්

පෙබරවාරි 03, 2020

ශ්‍රී ලංකා හමුදාවට වැඩිම පුහුණු පහසුකම් සපයන රාජ්‍යක් වන රුසියාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ  ගුවන් මෙහෙයුම් හැකියාවන් වැඩි දියුණු කිරීම සඳහා අමතර ආධාර ලබා දීමට ප්‍රතිඥා ලබාදී  තිබේ.

පස් දින නිල සංචාරයක යෙදී සිටින රුසියානු සමූහාණ්ඩුවේ රුසියානු ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානී ඔලෙග් සල්යුකොව් (Oleg Salyukov) ශ්‍රී ලංකා හමුදාවට වැඩි පුහුණු අවස්ථා ලබා දෙන බවට ප්‍රතිඥා දුන්නේය.

ජෙනරාල් සල්යුකොව් පැවසුවේ පසුගිය වසරේ රුසියාව විසින් ශ්‍රී ලාංකික කැඩෙට් නිලධාරීන්  හැත්තෑ දෙදෙනෙකුට පුහුණු පහසුකම් ලබා දී ඇති අතර  මේ වසරේ  එම පුහුණුවන්නන් සංඛ්‍යාව ඉහළ නැංවීමට කටයුතු සලසන බවයි.

රුසියානු රජය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් මෙහෙයුම් හැකියාවන් දියුණු කිරීමට පහසුකම් සැපයීමට බලාපොරොත්තු වන බව ඔහු පැවසීය.

අද (පෙබරවාරි 03) දින අමාත්‍යාංශ පරිශ්‍රයේදී ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා හමුවූ අවස්ථාවේදී දෙරට අතර ත්‍රස්තවාදයට එරෙහි සහයෝගීතාව සහ බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා රුසියාව දක්වන සහයෝගීතාවය පිළිබඳව  ජෙනරාල් සල්යුකොව් මෙහිදී ප්‍රකාශ කළේය.

මේජර් ජෙනරාල් ගුණරත්න කියා සිටියේ ත්‍රස්තවාදය පරාජය කිරීමට මෙන්ම  විවිධ ජාත්‍යන්තර සංවිධාන මඟින් පශ්චාත්-යුද සමය පිළිබඳව ශ්‍රී ලංකා රජයේ ප්‍රතිරූපයට කැළලක් ඇති කිරීම සඳහා එල්ල කරන ලද චෝදනාවන්ට එරෙහිව නැගී සිටීමට රුසියානු රජය දක්වන සහයෝගය පිළිබඳව ශ්‍රී ලංකා රජය රුසියාවට  කෘතඥ පුර්වක වන බවයි.

ශ්‍රී ලංකා හමුදාවේ ත්‍රස්තවාදයට එරෙහි යුධ හැකියාවන් පිළිබඳව ජෙනරාල් සල්යුකොව් ප්‍රශංසා කළ අතර ඉදිරියේදී දෙරටේ ත්‍රස්තවාදයට එරෙහි විශේඥ දැනුම බෙදා ගැනීමටද මෙහිදී  එකඟතාවය පළ විය.

පසුගිය මාසයේ ශ්‍රී ලංකාවට පැමිණි රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් සමඟ පැවති රැස්වීම් ගැන සඳහන් කරමින් ජෙනරාල් සල්යුකොව් පැවසුවේ සියලු සාකච්ඡා  ඵලදායීව මෙන්ම නිසි පරිදි පැවැත්වුණු  බවයි.

පස් දින සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින  ජෙනරාල් සල්යුකොව් වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ආරාධනයකට අනුව ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

හෙට දින (4) නිදහස් චතුරශ්‍රයේ පැවැත්වෙන 72 වන නිදහස් පෙළපාළිය නැරඹීමට විශේෂ ආරාධිත අමුත්තෙකු  ලෙස ආරාධනා කිරීම ගැන ඔහු ශ්‍රීලංකා රජයට සිය ස්තූතිය පුද කළේය.

මෙම අවස්ථාව සිහිවීම වස් මේජර් ජෙනරාල් ගුණරත්න සහ ජෙනරාල් සල්යුකොව් අතර සමරු සිහිවටන හුවමාරුවක්ද සිදුවිය.