වන්නි ප්‍රදේශයේ අසරණ වූ කාන්තාවක් සඳහා නව නිවසක්

ජනවාරී 08, 2019

වන්නි ප්‍රදේශයේ දුෂ්කර ගම්මානක ජීවත් වූ අසරණ කාන්තාවක් හට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ක්‍රියාත්මක සමාජ සුභ සාධන වැඩසටහනක් යටතේ නව නිවසක් ඉදිකර දීමට කටයුතු කරන ලද බව යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය පවසයි. පසුගිය සතියේ (ජනවාරි 03) පැවති උත්සවයකදී මෙසේ නව නිවසක් හිමි වුයේ දුෂ්කර ගම්මානයක් වන කුරුමන්කාඩු ගම්මානයේ පදිංචි ආර් රාසමලර් මහත්මිය වෙතය.

වව්නියාව මහ රෝහලේ ‘සදහම් සුව’ බෞද්ධ සංගමය මගින් මෙම නවනිවස ඉදිකිරීමට අවශ්‍ය ගොඩනැගිලි ද්‍රව්‍ය ලබාදී ඇති අතර යුද්ධ හමුදා ශ්‍රම දායකත්වයෙන් ඉදිකර ඇත. අවාසනාවන්ත වකුගඩු රෝගයෙන් පිඩා විඳින මෙම කාන්තාවගේ අසරණ භාවය අදාළ ආයතනයට දැනගැනීමට ලැබීමෙන් පසු මෙම මෙම නිවාස තැනීමේ කටයුත්ත ආරම්භ කරන ලදී. මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සිය දායකත්වය නොමසුරුව ලබා දී ඇත.

මෙම අවස්ථාවට ගරුතර මහා සංඝරත්නය ඇතුළු පුජකවරුන්, රජයේ නිලධාරීන්, යුද්ධ හමුදා නිලධාරීන් හා ආධාර සපයන ලද ආයතනයේ නියෝජිතයන් ඇතුළු පිරිසක් සහභාගී වුහ.