ඉන්දියාවේ පැවති ‘DEFEXPO-2020’ ප්‍රදර්ශනයේදී ආරක්ෂක ලේකම් ඉන්දීය ආරක්ෂක ප්‍රධානීන් හමුවෙයි

පෙබරවාරි 08, 2020

ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ඉන්දියාවේ ආරාධනයකට අනුව ලක්නව් නුවර 11 වන ‘DEFEXPO-2020’ සඳහා සහභාගී වීම සදහා ඉන්දියාවට ගිය අතර ඉකුත් බදාදා (පෙබරවාරි 5) දින ආරම්භවූ ප්‍රදර්ශණය සදහා මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න සමග වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ද සහභාගී විය.  

ඉන්දියාව සතු ගොඩබිම්, මුහුදු සහ ගුවන් හැකියාවන් විදහා දක්වන ආරක්ෂක ක්‍රමවේදයන් හා  සම්බන්ධ දෘඩාංග සහ තාක්ෂණය ප්‍රදර්ශනය කෙරෙන ලොව විශාලතම ප්‍රදර්ශනය වන මෙය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් රටවල් 150 ක පමණ නියෝජිතයින් සහ හමුදා නායකයින් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් ආරම්භ කරන ලදී.

මෙම ප්‍රදර්ශනය අතරතුර මේජර් ජෙනරාල් ගුණරත්න , ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං (Rajnath Singh) සහ ආරක්ෂක ලේකම් ආචාර්ය අජේ කුමාර් (Dr Ajay Kumar) ඇතුළු ඉන්දීය නායකයින් කිහිප දෙනෙකු හමුවිය.

ඉන්දියානු ආරක්ෂක ලේකම් සහ මේජර් ජෙනරාල් ගුණරත්න අතර පැවති සුහද හමුවකදී දකුණු ආසියානු කලාපය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් වන ආරක්ෂක අවශ්‍යතා, හමුදා තාක්ෂණයන්, පර්යේෂණ සහ නව නිපැයුම් යන කරුණු පිළිබඳව සාකච්ඡා කරන ලදී.

මේජර් ජෙනරාල් ගුණරත්න ප්‍රදර්ශනය සදහා සහභාගී වූ රුසියාවේ ඉහළ පෙළේ ආරක්‍ෂක දූත පිරිසක් ඇතුළු විදෙස් හමුදා ප්‍රධානීන් කිහිප දෙනෙකු සමඟද සාකච්ඡා පැවැත්වීය.

මේජර් ජෙනරාල් ගුණරත්නගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා දූත පිරිසට ප්‍රදර්ශන කුටි නැරඹීමට අවස්ථාව සැලසිණි. එහිදී විශ්ව විද්‍යාල සහ වෙනත් ආයතනයන්හී තාක්ෂණික විශේෂඥයින් විසින් නිෂ්පාදනය කරන ලද නවීන මිසයිල, සබ්මැරීන, රොබෝ වරුන්, වාහන, අවි ආයුධ සහ ඇතුළු විවිධ නවෝත්පාදනයන් සමීපව අධ්‍යනය කල අතර ප්‍රදර්ශනයට තබා ඇති අවි ආයුධ සහ දියුණු තාක්‍ෂණික උපකරණ සහ ඒවා නිෂ්පාදනය කර ඇති ආකාරය සහ සංයුතිය පිළිබඳ වැඩි දුරටත් අවධානය යොමු කරන ලදී.

ඉන්දීය ‘DEFEXPO’ ප්‍රදර්ශනය අනාගත ආරක්ෂක තාක්‍ෂණය සඳහා සහ ලෝක ආරක්ෂක සමාගම්වලට ඔවුන්ගේ ගොඩබිම, මුහුදු සහ ගුවන් හැකියාවන් එකම ප්‍රදර්ශනයකදී ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව සැලසෙන විශාලතම ප්‍රදර්ශනයකි.