කිලිනොච්චි හා මුලතිව් ප්‍රදේශවල ගංවතුර හේතුවෙන් අපවිත්‍ර වූ ළිං හමුදා භටපිරිස් විසින් යලි පිරිසිදු කරන ලදී

ජනවාරී 08, 2019

පශ්චාත් ගංවතුර සහන වැඩසටහන් යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා භටපිරිස් විසින් ඊයේ (ජනවාරි 06) වනවිට කිලිනොච්චි හා මුලතිව් ප්‍රදේශවල ගංවතුරට යටවූ ළිං යලි පිරිසිදු කිරීමේ කටයුතු අවසන් කර ඇති බව යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය පවසයි. ඒ අනුව යුද්ධ හමුදා භටපිරිස් විසින් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ළිං 324 ක් සහ මුලතිව් දිස්ත්‍රික්කයේ ළිං 46 ක් පිරිසිදු කර ඇත.

කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයට අයත් භටපිරිස් විසින් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ මාන්කුලම්, කිලිනොච්චි නගර සීමාව, මුරුසමොඩෙයි, කිලිනගර්, බාරතිපුරම්, මයිලවානපුරම්, ධර්මපුරම්, කන්දවාලි, පොන්නගර්, පන්නන්කන්ඩි සහ ඉන්දුපුරම් යන ප්‍රදේශයන්හි අපිරිසිදු වූ පානීය ජල ළිං පිරිසිදු කිරීම සඳහා කටයුතු කර ඇත. මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයට අනුයුක්ත භට පිරිස් විසින් මුලතිව් දිස්ත්‍රික්කයේ පෙරාරු, වසන්තිපුරම්, තිරුවිල්, ඔඩ්ඩුසුඩාන්, නන්දිකඩාල් සහ මුලතිව් යන ප්‍රදේශවල පානීය ජල ළිං පිරිසිදු කිරීම අවසන් කර ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ජල පොම්ප හා ජල පිරිපහදු යන්ත්‍ර ලබාදීම තුලින් යුද්ධ හමුදා භටපිරිස් වෙත ඔවුන්ගේ සහයෝගය ලබාදී ඇත.

පසුගිය දිනවල දිවයින පුරා පැවති අයහපත් කාලගුණික තත්ත්වය නිසා ඇති වූ ගංවතුර හේතුවෙන් කිලිනොච්චි හා මුලතිව් දිස්ත්‍රික්කවල විශාල ප්‍රදේශයක් බලපෑමට ලක් විය. එහි ප්‍රතිඵලයක් ලෙස මෙම ප්‍රදේශ වල ළිං විශාල ප්‍රමාණයක් ගංවතුරට යටවී ප්‍රදේශයේ ජනතාවගේ දෛනික පානීය ජල අවශ්‍යතාවය සපුරා ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවිය. ජලගැලීම් ආරම්භ වීමත් සමඟම හමුදා භටපිරිස් විසින් මුදවා ගැනීමේ සහ සහන මෙහෙයුම් කඩිනමින් ක්‍රියාත්මක කරන ලදී. හමුදා භටපිරිස් විසින් ගංවතුරින් විපතට පත් වූවන් ආරක්ෂිත ස්ථාන වලට යොමු කිරීමට අමතරව, ආහාර, ජලය සහ අනෙකුත් අවශ්‍යතා සැපයීම ද සිදුකරන ලදී.

මේ අතර, පසුගිය සෙනසුරාදා (ජනවාරි 05) දින කිලිනොච්චියේ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාව සඳහා ජංගම වෛද්‍ය සායනයක් ද පවත්වන ලදී. මෙම සායනය පුලියන්පොක්කනෙයි හි කල්වටිතෙඩාල් නාගේශ්වර විද්‍යාලයේ දී පැවැත්විණි.