කච්චතිව්: ජාතීන් දෙකක් එකමුතු කිරීමේ මංගල්‍යය

මාර්තු 11, 2020

කුඩා කඳු මුදුනක පිහිටි , සුදු පැහැති බිත්ති මල් වලින් සහ විවිධ වර්ණවලින් සරසා ඇති කච්චතීව් හි  ශාන්ත අන්තෝනි  දේවස්ථානය, පැය ගණනක දීර්ඝ මුහුදු ගමන් වලින් පසුව පැමිණෙන කතෝලික බැතිමතුන්ට නිතැතින්ම සන්සුන් වටපිටාවක්  ලබා දෙයි.

 

 

පැහැදිලි නිල් ජලයෙන් වටවී ඇති වැලි සහිත අක්කර 285 කින් සමන්විත කච්චතිව් දූපත මී මැසි වදයක් බවට පත්ව ඇත්තේ,ධීවරයන්ගේ අනුශාසක සාන්තුවරයා වන පාදුවා හි අන්තෝනි වෙනුවෙන් කැප කරන ලද මෙම දේවස්ථානයට වන්දනාමාන කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් හා ඉන්දියාවෙන් පැමිණි දහස් ගණන් බැතිමතුන් එක් වීමත් සමගයි.

කුල, ඇදහීම් හෝ ආගම් භේදයකින් තොරව දහස් ගණන් බැතිමතුන් මෙම කුඩා දිවයිනේ ශාන්ත අන්තෝනි වන්දනාමාන කරති. දුපත පුර්ණ නිහඩතාවයකට පත්වන්නේ දින දෙකක් තිස්සේ උත්සවාකාරයෙන් පැවැත් වූ මංගල්‍යයයෙන් පසුවයි.

මීගමුවේ ජයසීලී ප්‍රනාන්දු හා තමිල්නාඩුවේ මදම්පුරම් හි මේරි ජැක්ලින් එකම තල්  සෙවණේ වාඩි වී සිටින්නේ දැඩි  හිරු රශ්මියෙන් ආරක්ෂා වීමටයි.


“මම ශාන්ත අන්තෝනි මුනිතුමාගේ  ආශ්චර්යමත් බලය ගැන බොහෝ දේ විශ්වාස කරනවා. ඔහු සෑම විටම අප වැනි දුප්පත් ජනතාවට උදව් කරනවා.” ප්‍රනාන්දු මහත්මිය පැවසුවේ නාවික හමුදාව විසින් සපයන දිවා  ආහාරය භුක්ති විදින අතරේය.

 

ප්‍රනාන්දු සහ ඇගේ 54 ක නඩයට  දින හතරක ගමනක් වු මෙයට ඇයගේ මව ශ්‍රියා පුෂ්පා (72) , නැගණිය සහ මිනිබිරියද එක්ව තිබු අතර පළමුව ඔවුන් මන්නාරම මඩු පල්ලියේ ආශිර්වාද ලබාගෙන පසුව කච්චතිව් බලා හෝරා තුනක මුහුදු  ගමන අරඹා ඇත.    

“මම, පිළිකාවක් හේතුවෙන් 2018 දී මිය ගිය මගේ ස්වාමිපුරුෂයා, බාල දියණියගේ පවුල ජීවත් වූයේ ලී ලෑලි වලින් නිමවන ලද අපේ නිවසේයි.පසුගිය අවූරුද්දේ, අපිට පුළුවන් උනා ගඩොල් වලින් ගේ සාදාගන්න, අවූරුදු ගණනක් ණයක් වත් ලබා ගැනීමට නොහැකිව හිටිය අපිට සියල්ල ලැබුනේ මෙහි පැමිණ ආශීර්වාදය ලබා ගැනීමෙන් පසුවයි ඇත්තටම එය ආශ්චර්යමත් සිදුවීමක්.”ප්‍රනාන්දු සිනාසෙමින් පැවසීය.

තම නෑයින් 17 දෙනෙකු සමග මදම්පුරම් සිට රමේස්වරම් හරහා කච්චතිව් වෙත පැය 12 ක් ගෙවා පැමිණි මේරි ජැක්ලින්, දුපතේ  රැදී සිටින කාලය තුළ ඔවුන්ට පූර්ණ ආරක්ෂාව ලබා දීම ගැන සතුටින් පසුවිය.

“මෙහි පැමිණීමට පෙර ආරක්ෂාව සහ වෙනත් පහසුකම් ගැන මම කනස්සල්ලට පත්ව සිටියා. අපේ සමහර අය ආරක්ෂාව ඇතුළු දුෂ්කරතා ගැන අපට අනතුරු ඇඟවූවා . දැන් අපේ සංචාරය ගැන මට වෙනස් ධනාත්මක චිත්‍රයක් තිබේන්නේ, ”ඇය පවසයි. බැතිමතුන්ට ගත කිරීමට අවසර දී ඇති  මංගල්‍යය පවතින  දින දෙක හැරුණු විට,නාවික කඳවුරක් ඇති කච්චතීව් දූපතේ කිසිවෙකු වාසය නොකරයි. නව පල්ලිය ඉදිකරන ලද්දේ ද ශ්‍රී ලංකා නාවික හමුදාව   විසිනි.

අට වතාවක් කච්චතීව් වෙත පැමිණි ඇති රාමේෂ්වරම්හි සර්මිස් යනු ඉන්දියානු බැතිමතුන් රාමේෂ්වරම් සිට ප්‍රවාහනය කරන බෝට්ටු හිමිකරුවෙකි. “මෙම මංගල්‍යය මගේ දින දර්ශනයේ වාර්ෂික අංගයක් . මම මේ වන විට ඉන්දියාවෙන් බැතිමතුන් 250 කට වඩා ගෙනැවිත් තියෙනවා.”

 “මම මෙය නොමිලයේ කරන සේවාවක් වන  අතර ශාන්ත අන්තෝනි කෙරෙහි මගේ භක්තිය මා මෙහි පැමිණෙන සෑම අවස්ථාවකම වර්ධනය වෙනවා.”ඔහු පවසන්නේ සෑම වසරකම ශ්‍රී ලංකා නාවික  හමුදාව විසින් සපයනු ලබන වැඩිදියුණු කළ පහසුකම් අගය කරමිනි. සෑම වසරකම ශ්‍රී ලංකා නාවික හමුදාව  බැතිමතුන් හොඳින් රැකබලා ගැනීම සඳහා නව පහසුකම් කිහිපයක් එකතු කරන බවත් ඔවුන්ට හොඳ සේවාවක් ලබා දෙන බවත් ඔහු පවසයි.

චෙන්නායි හි සැලසුම් ඉංජිනේරුවෙකු වන සිල්වෙස්ටර්, ශාන්ත අන්තෝනි මුණිදුන් වන්දනාමාන කිරීමට අමතරව ශ්‍රී ලාංකිකයන් සමඟ මිත්‍රත්වය ශක්තිමත් කිරීමට අපේක්ෂා කරයි. දිවයිනේ ආරක්ෂාව මනා ලෙස සංවිධානය වී ඇති හෙයින් ලබන වසරේදී සිය පවුලේ අය සමඟ කච්චිතිව් පැමිණීම ඔහුගේ  සැලසුමයි.

ඉන්දියාවේ තින්නටුකල් දිස්ත්‍රික්කයේ කොඩයිකනල් හි හැට පස්  වයසැති මේරි සිතන්නේ මෙම වන්දනා ගමන යථාර්ථයක් බවට පත්කර ගැනීමට හැකිවීමට තරම් තමා වාසනාවන්ත වූ බව හා එය තමාට ලැබූනු  වරප්‍රසාදයක් බවයි.

“අපව හොඳින් රැකබලා ගැනීම සහ අපට ආහාර සැපයීම පිළිබඳව ශ්‍රී ලංකා නාවික හමුදාවට ස්තූතිවන්ත විය යුතුයි. දෙපැත්තෙන්ම ආරක්ෂක කටයුතු  ද හොඳ මට්ටමක පැවතුනා . ” බැතිමතුන් 31 දෙනෙකු සමඟ බෝට්ටුවක පැමිණි ඇය පවසයි.

 

සේලම් රදගුරු පදවියේ ගරු සිමොන් බෙන්ජමින් පියතුමා පැවසුවේ, දකුණු ඉන්දියාවේ සේලම්, කුම්බකොනම් හා ට්‍රිචි ප්‍රදේශ වලින් ආසන්න වශයෙන් බැතිමතුන් 2500 පමණ සහ දේවගැතිවරුන් 100 ක් පමණ මෙවර කච්චතිව්  මංගල්‍යය සඳහා පැමිණි බවයි.

“මෙය මගේ පළමු සංචාරය සහ කච්චතිව් හි පළමු අත්දැකීමයි. මුළු දිවයිනම ලස්සන හා පිරිසිදුයි. දැන් මිනිසුන්ට පල්ලියේ කටයුතුවලට සාමකාමීව සහභාගි විය හැකියි. මංගල්‍යය මනාව සංවිධානය කර ඇති අතර මංගල්‍යය සංවිධානය කිරීමට සම්බන්ධ වූ පාර්ශව  හා රජයන් හොඳින් සහයෝගයෙන් කටයුතු කර ඇති බවක් පෙනනවා . අපට මෙහි සැපපහසු බවක් දැනෙනවා, ”ඔහු  ප්‍රකාශ කළේ නාවික හමුදාවට ස්තුතිවන්ත වෙමිනි.

පූජකවරුන් 35 දෙනෙකු සමඟ චෙන්ගල්පට්ටු සහ චෙන්නායි සිට බෝට්ටුවකින් පැමිණි බෙන්ජිමින් පියතුමා පවසන්නේ, මිනිසුන් සමඟ කටයුතු කරන ආකාරය, එකිනෙකා ගැන සැලකිලිමත් වීම, හොඳ ආගන්තුක සත්කාරය සහ ආරක්ෂාව සැපයීම පිළිබඳව පැහැදිලි පණිවිඩයක් තම ජනතාවට ලබා දෙන බව හා එලෙස ලබා දීමෙන් ඔවුන් තුල මේ  පිලිබදව ආරක්ෂාකාරී හැගීමක් ඇති කරවන බවයි.     

“COVID-19 බිය නොවුනේ නම් ඉන්දියාවෙන් වැඩි බැතිමතුන් සංඛ්‍යාවක් පැමිණෙනවා.” ඔහු පැවසීය.

චෙන්නායි හි තොරතුරු තාක්ෂණ සමාගමක සේවය කරන තින්නටුකල් දිස්ත්‍රික්කයේ රෙක්ස් පවසන්නේ සියල්ල ඉතා හොදින් සිදු වූ බවයි.

“කිසිදු ප්‍රශ්නයක් නොමැතිව ශ්‍රී ලංකාව අපව හොඳින් පිළිගත්තා. අපි උදේ 10 ට පමණ රාමේෂ්වරම් සිට පිටත් වී පස්වරු 2 ට මෙහි පැමිණියා. ලබන වසරේදීත් මම නැවත මෙම ස්ථානයට ආ  යුතු බව මට විශ්වාසයි, ”ඔහු පවසයි.

ගාල්ල  අගරදගුරු ගරු රේමන්ඩ් වික්‍රමසිංහ පියතුමා දේව මෙහෙය අවස්ථාවේ දී බැතිමතුන් හමුවේ පැවසුවේ ඔවුන්ට  දෙවියන් නිදහසේ නමස්කාර කිරීමේ වරප්‍රසාදය ලැබී තිබෙන්නේ කච්චතීව් උත්සවය පැවැත්වීමට කැපවී සිටින ශ්‍රී ලංකා නාවික හමුදාව හා ත්‍රිවිධ හමුදාවන්ගේ කැපවීම නිසා ඇති වූ සාමය නිසා බවයි. පසුගිය වසර කිහිපය තුළ සංවිධානය කරන ලද මෙම වාර්ෂික මංගල්‍යයට පහසුකම් සැලසීම සඳහා දුපත  තුළ සිට දින ගණනාවක්, නාවික හමුදාව කල කැපවීම අපට පෙනෙනවා.

ශ්‍රී ලංකා යුද හමුදාවට, ශ්‍රී ලංකා පොලිසියට සහ ඔවුන්ගේ නිලධාරීන්ට අපගේ අවංක ස්තූතිය පුද කර සිටිනවා. මම ඔබගේ කැපවීම දකින්නේ, සහජීවනය, අන්‍යෝන්‍ය ගෞරවය සහ එකිනෙකා කෙරෙහි පිළිගැනීම සහ ඔවුන්ගේ අදහස් හා පිළිවෙත්වල සංකේතයක් ලෙසයි.


යාපනය අගරදගුරු ගරු ආචාර්ය ජස්ටින් බර්නාඩ් ඥානප්‍රගාසම් පියතුමා, දුපතේ නව පල්ලිය ඉදිකිරීම පිළිබඳව හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවී විජේගුන්රත්න, නාවික හමුදාපති අද්මිරාල් පියල් ද සිල්වා සහ රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා යන මහත්වරුන්ට ස්තූතිවන්ත වන බව පැවසීය.

“මෙම සුන්දර දේවස්ථානය අප වෙනුවෙන් ගොඩනඟා දීමට  සහ සෑම වසරකම සාර්ථකව මංගල්‍යය පැවත්වීම  සඳහා අප හා එක්වීම ගැන අපි මෙම පුද්ගලයින් තිදෙනාට ස්තූතිවන්ත විය යුතුයි.” ඔහු පැවසුවේ යාපනයේ ආරක්ෂක සේනා අඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය ඇතුළු අනෙකුත් සියලුම නිලධාරීන්ට ද ස්තූතිය පුද කරමිනි.

මංගල්‍යයට මාස දෙකකට පෙර සිට නාවික හමුදාව සිදු කල වෙහෙසකර ක්‍රියාවලිය පිලිබදව නාවික හමුදාපති  වයිස් අද්මිරාල් පියල් ද සිල්වා පැහැදිලි කරයිpared\

“උතුරු නාවික විධානය භාර රියර් අද්මිරාල් කපිල සමරවීර සහ ඔහුගේ කණ්ඩායම් වෙහෙස නොබලා මේ වාර්ෂික උත්සවය සාර්ථක කර ගැනීමට සමත් වුනා. ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වැඩ කටයුතු සඳහා 500 ක් පමණ නාවිකයන් පිරිසක් යොමු කර තිබුනා.මීට අමතරව නාවික හමුදාව විසින් අන්තර්ජාතික මුහුදු සීමාවේ බටහිර මායිමේ  පිහිටි කච්චතිව් දුපත වෙතට අවශ්‍ය සැපයුම් ලබා දීම සඳහා අවශ්‍ය නැව් හා යාත්‍රා යොදවා තිබූනා.” ඔහු පැහැදිලි කළේය.      

නාවික හමුදාපතිට  අනුව, නාවික හමුදාව  විසින් බැතිමතුන්ගේ පානීය හා සනීපාරක්ෂක අවශ්‍යතා සපුරාලීමට  ප්‍රධාන භූමියෙන් ජලය ලීටර් 500,000 ක් දුපතට ප්‍රවාහනය කර ඇත.


“පෙර දින  රාත්‍රියේදී අපි 9000 පමණ පිරිසකට රාත්‍රී ආහාරය ලබා දුන්නා. මීට අමතරව , මෙම උත්සවය සාර්ථකව  සිදුකිරීමට සහයෝගය ලබා දීම පිළිබඳව යාපනය දිස්ත්‍රික් ලේකම්, යුද, ගුවන්, පොලිස්, ශ්‍රී ලංකා රේගු සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවට මාගේ ස්තුතිය  පළ කරනවා”.ඔහු පැවසුවේය.

දැනට පවතින සංඛ්‍යාලේඛනවලට අනුව බෝට්ටු 86 කින්  ඉන්දියානු බැතිමතුන් 2,510 ක් ඇතුළුව බැතිමතුන් 8,583 ක් කච්චතිව් දූපතට පැමිණ ඇති බව ඔහු පවසයි.

“කොරෝනා වෛරසය පැතිරීමේ භීතිය තිබියදීත්, බැතිමතුන් උත්සවය සැමරීම සඳහා දිවයිනට පැමිණීම ප්‍රශංසා කළ යුතුය.

ශ්‍රී ලංකා නාවික හමුදාව බැතිමතුන්ට මුහුදු ප්‍රවාහනය, ආහාර, ජලය, වෛද්‍ය සහ සනීපාරක්ෂාව ඇතුළු සියලු පහසුකම් ලබා දුන්නේය. දේව මෙහෙයට  පෙර දින රාත්‍රියේ සිට රැඳී සිටි ජනතාවගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා නාවික හමුදාව අවශ්‍ය  ක්‍රියාමාර්ග ගෙන තිබූ අතර වර්තමාන COVID 19 තර්ජනය හේතුවෙන් දුපතට පැමිණි  සෑම කෙනෙකුම වෛද්‍ය පරීක්ෂාවට ලක් කරන ලදී.

දෙමළ, සිංහල සහ ඉංග්‍රීසි භාෂාවලින් මෙම දේව මෙහෙය  පවත්වන ලද්දේ යාපනයේ අගරදගුරු ගරු ආචාර්ය ජස්ටින් බර්නාඩ් ඥාණප්‍රගාසම්, ගාලු අගරදගුරු ගරු රේමන්ඩ් වික්‍රමසිංහ  සහ ඉන්දියාවේ සිවගන්ගයි රදගුරු පදවියේ විකා ජනරාල් ජෝශප් ලූර්දු රාජා යන පියතුමන්ලා විසිනි.

ප්‍රනාන්දු සහ ජැක්ලීන් මෙන්, දහස් ගණනක් බැතිමතුන් කච්චතිව් පල්ලියට නැවත නැවත පැමිණෙන්නේ එහි ප්‍රාතිහාර්යමය බලයක් ඇතැයි හැඟෙන බැවිනි.

ශ්‍රී ලංකාවෙන් හෝ ඉන්දියාවෙන් වේවා, ඔවුන් සියල්ලන්ටම කච්චාතිව් වෙත පැමිණීමට හේතුවක් තිබේ, ඒ ජාතීන් දෙක අතර සබඳතා ශක්තිමත් වීම හා  ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ආරක්ෂාව සහතික කර ඇති නිසා වේ.

“මේ ශුද්ධ භූමියේ අපි ශ්‍රී ලාංකිකයන් හෝ ඉන්දියානුවන් නොවේ. නමුත් අප එක් පවුලකට අයත් යැයි අපට හැඟේ. අපි එකිනෙකාගේ භාෂාව නොදන්නා නමුත් එකම තල් ගස යට වාඩි වී එකිනෙකා සමඟ සිනාසෙන විට, අපි එකිනෙකා හඳුනන බව අපට හැඟේ, ”ප්‍රනාන්දු පවසයි.