ආරක්ෂක සහ සෞඛ්‍ය අමාත්‍යාංශ COVID - 19 වෛරසයට මුහුණ දීමට සුදානම්

මාර්තු 11, 2020

• නිරෝධායන ක්‍රියාවලියට අනුකූල නොවීම දඩුවම් ලැබිය හැකි වරදක් බව පවසයි

• COVID - 19 වෛරසයට කලබල විය යුතු නැත.
 
• මාධ්‍යය නිවැරදි වාර්තාකරණයක් කිරීම  අවශ්‍යයි.
         
• කොරෝනා වෛරසය ආසාදනය වී ඇති හෝ නැති සැම ශ්‍රී ලංකිකයෙකුටම මෙරටට පැමිණිමට අයිතියක් ඇත.

 
කොරෝනා වෛරසය  (COVID - 19) ආසාදිත රටවලින් පැමිණෙන පිරිස් සහ මිලියන 20 කට අධික  රටේ ජනගහනය  මෙම වෛරසයට ගොදුරු විමට ඉඩකඩක් ඇති හෙයින් ආරක්ෂක අමාත්‍යංශය හා සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව ශ්‍රී ලාංකිකයන් හට කොරෝනා වෛරසය (COVID - 19) පැතිරීම වැළැක්වීම සඳහා  අවශ්‍ය සියලු පියවර ගෙන තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් අනුව පුනානි සහ කන්දකාඩු ප්‍රදේශයන්හි යුද්ධ හමුදාව මගින්  නිරෝධායන මධ්‍යස්ථාන දෙකක් පවත්වා ගෙන යනු ලබන අතර දකුණු කොරියාව, ඉතාලිය වැනි ආසාදිත රටවලින් මෙරටට පැමිණෙන ආසාදිත තත්ත්වයේ පසුවන රෝගීන් දින 14 ක් කාලයක් නිරෝධායන කටයුතු වලට යොමු කෙරේ.
 
ඉතාලිය, දකුණු කොරියාව සහ ඉරානය  යන රටවලින් මෙරටට පැමිණි පුද්ගලයින් ඊයේ දිනයේ සිට  දින 14ක නිරෝධායන කටයුතු සඳහා මෙම මධ්‍යස්ථාන දෙක වෙත ශ්‍රි ලංකා යුද්ධ හමුදාව විසින් යොමු කර තිබේ.

හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ අද දින කොළඹ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ප්‍රකාශ කර සිටියේ COVID - 19 හි අවදානම් සහිත  ලෙස ලැයිස්තුගත කර ඇති රටවලින් පැමිණෙන අය නැගෙනහිර පළාතේ මධ්‍යස්ථාන දෙකක නිරෝධායන ක්‍රියාවලිය යටතේ තැබීමට රජය තීරණය කර ඇති බවයි. තවද , මෙම ආසාදිතයින් ජන ශුන්‍ය ප්‍රදේශයන්හි දින 14 ක කාලයක්  හුදෙකලාව ප්‍රතිකාර කිරිම සුදුසු බව ඒ මහතා කියා සිටියේය.
 
“දියතලාව යුද්ධ හමුදා රෝහලේ පිහිටුවා ඇති පළමු නිරෝධායන මධ්‍යස්ථානයට සමාන පහසුකම් මෙම   නිරෝධායන මධ්‍යස්ථාන සඳහා ද  හමුදාව විසින් සපයා තිබෙනවා ”ඔහු පැවසුවේය.
 
හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයාට අනුව, ප්‍රජා වෛද්‍ය උපදේශක සහ යුද හමුදා රෝහලේ නිවාරණ වෛද්‍ය හා මානසික සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ කර්නල් වෛද්‍ය සවීන් සේමගේ, මීට පෙර නිරෝධායන ක්‍රියාවලියට සම්බන්ද වී අත්දැකීම් ලබා ඇති හෙයින් මෙම නව මධ්‍යස්ථාන දෙකෙහි නිරෝධායන ක්‍රියාවලිය නිසියාකාරයෙන් පවත්වාගෙන යාම සදහා ඒවායේ භාරකාරත්වය ඔහු වෙත් පවරා  ඇත .

යුද්ධ හමුදාව මගින් සාර්ථකව සිදුකරගෙන යනු ලබන නිරෝධායන ක්‍රියාවලියට හානිකර අයුරින් සමාජ ජාලා වල මෑතකදී පලවූ පුවතක් පිළිබඳව සදහන් කල බ්‍රිගේඩියර් වික්‍රමසිංහ, ජනමාධ්‍ය වලින් ඉල්ලා සිටියේ COVID - 19 පිළිබද වගකීමෙන් වාර්තා කරන ලෙසත් ජනතාව නොමග නොයවා වෛරසය පිලිබදව දැනුවත් කිරීම් කරන ලෙසත්ය.
 
“රටට පැමිණෙන අයට, ආසාදිත වුවත් නැතත්, තම මව්බිමට ආපසු ඒමට ඔවුන්ට අයිතියක් තියෙනවා. එහෙත් ඔවුන්ට වගකීමක් තිබෙනවා නිරෝධායන ක්‍රියාවලියට කැමැත්තෙන්ම යොමු වී කිසිදු වෛරසයකින් තොර බව තහවුරු  කිරීම තුලින්  රටේ වෙසෙන ජනතාව මෙයින් ආරක්ෂා  කර ගැනීමට.  ”ඔහු අවධාරණය කළේය.
 
කෙසේ වෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා  COVID - 19 හි ආසාදිත රෝගීන් නිරෝධායන ක්‍රියාවලියට ඇතුළත් කිරිමේ නීත්‍යානුකූලභාවය පැහැදිලි කරමින් කියා සිටියේ, අදාල රටවලින් පැමිණෙන අයවලුන් 1897 නිරෝධායන හා රෝග වැළැක්වීමේ පනතේ අංක 3 යටතේ නිරෝධායන ක්‍රියාවලියට ඇතුළත් වීම අනිවාර්ය බවයි.

“හමුදාව විසින් මේ වන විට අනුගමනය කරනු ලබන නිරෝධායන ක්‍රියාවලිය මුළුමනින්ම නීත්‍යානුකූල වන අතර නියමිත පරිදි අනුගමනය නොකිරීම මාස 6 ක් දක්වා සිර දඩුවම් ලැබිය හැකි වරදක් වන බවත්, එසේ නිරෝධායන ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රතික්ෂේප කිරිම තුලින් රුපියල් 2000 සිට රුපියල්  10,000 දක්වා දඩ මුදලකට ද යටත්විය යුතුයි.”ඔහු පැවසීය.

වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා සහාය වන ලෙස මාධ්‍යයෙන් සහ මහජනතාවගෙන් ඉල්ලා සිටි පොලිස් අධිකාරී සේනාරත්න කියා සිටියේ ස්ථාන කිහිපයක නිරෝධායන පහසුකම් ඇති කිරීම සඳහා මහජනතාවගේ විරෝධය තමන් දුටු බවයි.

“COVID - 19 ට මුහුණ දීමට සමාජයේ වෙසෙන සියලු ජන කොටස්වල සහාය අවශ්‍යයි,” ඔහු පැවසීය.
 
නිරෝධායන මධ්‍යස්ථාන දෙක සඳහා අවශ්‍ය සියලු පහසුකම් ලබා දෙන බවට   සහතික වු බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ කියා සිටියේ නිරෝධායන පහසුකම් සියල්ලම නොමිලේ ලබා දෙන  අතර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබන පුද්ගලයින්ට විශේෂ වැසිකිළි, සනීපාරක්ෂක භාණ්ඩ, ඇඳුම් පැළඳුම්, ආහාර සහ Wi-Fi. ඇතුළු අනෙකුත් පහසුකම් ලබා දෙන බවයි.