රජය කොරෝනා වයිරසයට මුහුණ දීමට සූදානම් - ආරක්ෂක ලේකම්

මාර්තු 13, 2020
  • COVID - 19 වෛරස ආසාදනයට ලක්වූ රටවලින් පැමිණෙන අයවලුන් නිරෝධායන ක්‍රියාවලියට භාජනය වීම අනිවාර්ය වන බව පවසයි.

මිලියන 21.4ක් වන ශ්‍රී ලාංකික ජනතාව COVID - 19 වෛරසයෙන් ආරක්ෂා කිරීමට රජය පූර්ණ වශයෙන් කටයුතු කරන බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න අද (මාර්තු 13) දින පැවසීය.

කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය හා අනෙකුත් ඊට අදාළ බලධාරීන් සමඟ සමීපව කටයුතු කරන බැවින් ජනතාව කලබලයට පත්විය යුතු නැති බවද ඔහු පැවසීය.

“දිවයිනේ කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ආරක්ෂක අමාත්‍යංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය සියලු පූර්වාරක්ෂක පියවරයන් ගෙන තිබෙනවා” ඔහු පැවසීය.

අනුරාධපුර ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ අද (මාර්තු 13) දින පැවැති ගජබා රෙජිමේන්තුවේ මියගිය හා ආබාධිත සොල්දාදුවන්ගේ සහ සිවිල් සේවකයන්ගේ දරුවන් සදහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම සඳහා සංවිධානය කර තිබූ උත්සවයකදී ආරක්ෂක ලේකම් මාධ්‍ය වෙත පවසා සිටියේ නිරෝධායන මධ්‍යස්ථාන පිහිටා ඇති ප්‍රදේශවල පදිංචිකරුවන් එම මධ්‍යස්ථාන සඳහා විරෝධතා දැක්වීමත් සමග යම් යම් ගැටළු මතුවූ බවත්ය.

 “COVID - 19 වෛරස ආසාදන වී තිබෙන රටවල් වල සිට පැමිණෙන අපේ රට වැසියන් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා භාජනය වන ලෙසට ඉල්ලා සිටි මොහොතේ අපට යම් යම් විරෝධතා වලට මුහුණ දීමට සිදුවුණා”, ඔහු පැවසීය.

බොහෝ අය නැවත මෙරටට පැමිණියේ දිගු කාලයක් තම පවුලේ අයගෙන් වෙන් වී සිට නැවත ඒ අය හමු වීමේ බලාපොරොත්තුවෙන් නමුත්, සෑම දෙනාගේම යහපත වෙනුවෙන් නිරෝධායන ක්‍රියාවලියට යොමුවීම වැදගත් වන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

කෙසේ වුවද ආරක්ෂක ලේකම් පවසා සිටියේ COVID - 19 වෛරසය ආසාදනයට ලක්වූ රටවල සිට පැමිණි අයගේ විරෝධතාවය නොතකා මෙරට සමස්ත ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් නිරෝධායනයට ලක්වීම අනිවාර්ය වන බවයි.

“නිරෝධායන ක්‍රියාවලියේ දී අපි ඔවුන්ට අපට හැකි උපරිමයෙන් රැකවරණය හා අවශ්‍ය පහසුකම් ලබා දෙනවා” තවද COVID - 19 වෛරසය රටපුරා ව්‍යාප්ත වීමට රජය ඉඩ නොතබන බවත් අනවශ්‍ය බියක් ඇති කරගෙන අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම හා ගබඩාකර ගැනීම අවශ්‍ය නොවන බවත් ඔහු පැවසීය.

සුපුරුදු ආකාරයෙන් ආපදා තත්ත්වයකදී පළමුව ප්‍රතිචාර දක්වන ආරක්ෂක හමුදාවන් වෛරසය පැතිරීම වැලැක්වීමට සහාය දැක්වීමට ඉදිරිපත් වී ඇති  බව ඔහු පැවසීය.

“දැනට වෛරසය  ආසාදනය පුද්ගලයන් ආශ්‍රය කළ අය, දුරකථන ඇමතුම් ලබාගත් අය, ඔවුන් ආගිය තැන් ආදී සෑම දෙයක්ම විශ්ලේෂණ කර ඒ සියලු දෙනාමත් නිරෝධායනය  කිරීමට අවශ්‍ය කටයුතු සිදු කිරීමට ආරක්ෂක හමුදාවන්ට පවරා තිබෙනවා ”, ඔහු පැවසීය. COVID - 19 වෛරසය පැතිරීම අවම කිරීමේ කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා යුද්ධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත්තර ඇති බව වැඩිදුරටත් පැවසීය.

ගජබා රෙජිමේන්තුවේ ඉතිහාසය උපුටා දක්වමින් ආරක්ෂක ලේකම් පැවසුවේ ගජබා රෙජිමේන්තුව ආරම්භක කිරීමට මුල්වුයේ  අභාවප්‍රාප්ත මේජර් ජෙනරාල් ඩබ්ලිව් අයි වී කේ එම් විමලරත්න බව හා  වත්මන් ජනාධිපති, ආරක්ෂක ලේකම්, වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාපති ගජබා රෙජිමේන්තුවේ සාමාජිකයන් වීම ගජබා රෙජිමේන්තුවට ගෞරවයක් බවයි.

“අවාසනාවන්ත පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසුව ජාතික ආරක්ෂාව යථා තත්ත්වයට පත්කර සාමකාමී රටක් ඇති කිරීමේ  අපේක්ෂාවෙන් ශ්‍රී ලංකාවේ ජනතාව ජනාධිපති රාජපක්ෂ තෝරා පත්කර ගත්තා. ඒ වගේම ජාතික ආරක්ෂාව යථා තත්වයට පත්කර ගැනීමේ දැවැන්ත කර්තව්‍ය ඉටු කර ගැනීම සඳහා මා ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරුන් ඔහු විසින් පත්කර තිබෙනවා ”, ඔහු පැවසීය තවද ජාතික ආරක්ෂාව යථා තත්වයට පත්කර ගැනීම සඳහා රජයට අවශ්‍ය සහාය දෙන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

ශිෂ්‍යත්ව ලබාගත් පාසල් සිසුන් අමතමින් “හොඳ අධ්‍යාපනයක් ලබා ගෙන දෙමාපියන්ගේ බලාපොරොත්තු ඉටු කරමින් රටට සේවය කිරීම ඔබගේ යුතුකමයි” ආරක්ෂක ලේකම් පැවසීය.

ගජබා රෙජිමේන්තු කාර්යාල සංකීර්ණයේ  පිහිටා ඇති ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ දිවංගත මේජර් ජෙනරාල් ඩබ්ලිව් අයි වී කේ එම් විමලරත්න ගේ පිළිරුව වෙත පුෂ්පෝපහාර දැක්වීම මේජර් ජෙනරාල් ගුණරත්න විසින් සිදුකරන ලදී.

මෙම අවස්ථාව සදහා ආරක්ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකයේ සභාපතිනිය චිත්‍රානි ගුණරත්න මහත්මියද සහභාගි වූවාය.

එම උත්සවයේ දී සිසුන් 400 දෙනකු සඳහා රු. 3500.00 ක් වටිනා පාසල් බෑග් සහ පාසැල් උපකරණ පිරිනැමීය. 2019 වසර 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ දක්ෂතා දැක්වූ සිසුන් 25 දෙනෙකු, 2018 අ.පො.ස (සා/පෙ) විභාගය සමත්, 2019 වසර අ.පො.ස (උ/පෙ) සමත් සහ විශ්වවිද්‍යාල වරම් ලද සිසුන් ඇතුළු සිසුන් පනස් දෙනකු සඳහා මෙම ප්‍රතිලාභ හිමිවිය.

මෙම අවස්ථාවට වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාපති, ගජබා රෙජිමේන්තුවේ හිටපු නිලධාරීන්, ගජබා රෙජිමේන්තු සේවා වනිතා ඒකකයේ සභාපතිනිය, රෙජිමේන්තු ඒකකයන්හි සේවා වනිතා ඒකකයන්හි සභාපතිනියන් සහ සිසුන් සහ ඔවුන්ගේ දෙමාපියන් සහභාගි වූහ.