කොරෝනා වයිරසයට එරෙහිව සටන් කිරීමට හමුදා වෛද්‍යවරුන්ගේ කැපවීම ප්‍රශංසනීයයි - ආරක්ෂක ලේකම්

මාර්තු 14, 2020

කොරෝනා වෛරස තර්ජනය පාලනය කිරීම සඳහා සැබෑ ශ්‍රී ලාංකිකත්වය මුසු වූ නිර්භීතභාවය හා කැපවීම ප්‍රදර්ශනය කරමින් ත්‍රිවිධ හමුදාවේ වෛද්‍ය කණ්ඩායම් විසින් ඉටු කරනු ලබන සේවය අගය කරමින් ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න පැවසුවේ ඕනෑම ආපදා තත්වයකදී පළමු ප්‍රතිචාර දක්වන්නේ හමුදාව බවයි.

“එය ගොඩබිම, අහස හෝ මුහුද වේවා, වෛද්‍ය සේවාවන් ආසන්නයේ තිබීම යුද්ධයේ යෙදී සිටින සෙබලුන් හට චිත්ත ධෛර්යයක් ලබා දෙන අතර සටනේදී පමණක් නොව ඕනෑම ආකාරයක මානුෂීය ආධාර සහ දේශීය හෝ විදේශයන්හි සිදුකරනු ලබන ආපදා සහන සඳහා හමුදා වෛද්‍ය නිලධාරීන් පළමු ප්‍රතිචාර දැක්වූවන් වේ,” යැයි ආරක්ෂක ලේකම් පැවසීය.

 ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සිකුරාදා (13) ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලයේ 4 වන වාර්ෂික අධ්‍යයන සැසිවාරයට සහභාගී වූ මේජර් ජෙනරාල් ගුණරත්න මහතා අවධාරණය කළේ මෙවැනි කැපවීම් කරන වෛද්‍ය නිලධාරීන් පිරිසක් ලැබීම අප රටට ආශිර්වාදයක් මෙන්ම ආඩම්බරයක් බවයි.

එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් සඳහා ශ්‍රී ලාංකික හමුදාවන්ගේ සහභාගීත්වය ඇගයීමට ලක් කරමින් මේජර් ජෙනරාල් ගුණරත්න පැවසූයේ පසුගිය තිස් වසරක යුද්ධයේදී ත්‍රිවිධ හමුදා වෛද්‍ය කණ්ඩායම් තුවාල ලැබූ සෙබළුන්ටත් විරුද්ධවාදී සටන්කරුවන්ටත් එක සේ සැලකූ බවයි.

'විශිෂ්ඨ හමුදා සෞඛ්‍ය සේවාවක් උදෙසා' යන තේමාව යටතේ ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලය විසින් අඛණ්ඩව 4 වන වරටත් සංවිධානය කරනු ලැබූ මෙම වැඩසටහනේ අගය පැහැදිලි කරමින් ආරක්ෂක ලේකම්වරයා පැවසුවේ ලොව පුරා හමුදා වෛද්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයන්ගේ අත්දැකීම් සහ විශේෂඥ දැනුම බෙදාහදා ගැනීම සඳහා මෙම අධ්‍යාපනික වැඩසටහන පිටුවහලක් වන බවයි.

දේශය ආරක්ෂා කිරීමට ඇප කැප වීසිටින හමුදා සාමාජිකයින් වෙනුවෙන් ගුණාත්මක වෛද්‍ය සේවයක් ලබා දීමට අවශ්‍ය වන ආකාරයේ වෘත්තීමය තත්වයන් මෙවැනි අධ්‍යයන වැඩසටහන් තුලින් ඉහළ නැංවෙන බව ඔහු පැවසීය.

ප්‍රධාන දේශනය පැවැත්වූ ජාත්‍යන්තර හමුදා වෛද්‍ය කමිටුවේ මහලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ගියර්ට් ලෙයාර් ශ්‍රී ලංකාවේ හමුදා වෛද්‍ය සේවය වෙනුවෙන් කරන ලද සේවාවට මේජර් ජෙනරාල් ගුණරත්න සිය ස්තූතිය පුද කළේය.

“ගෝත්‍ර හා ජාතීන් එකිනෙකා සමඟ සටන් කරන සමයේදී හමුදා වෛද්‍යවරුන් සහ තුවාල ලැබූවන් දුක් විඳීමෙන් බේරා ගැනීම සඳහා ඔවුන්ට සාත්තු සප්පායම් කරමින් සිටියහ. ඇතැම් විට, යුද්ධයේදී සහ වෙනත් ආපදාවන්හිදී සොල්දාදුවන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා හමුදා වෛද්‍යවරුන් ඔවුන්ගේ ජීවිත අනතුර නොතකා සේවය කරන අවස්ථා අපි අසා දැක ඇත්තෙමු,” ඉතා පැරණි හමුදා වෛද්‍ය විද්‍යාවේ ඉතිහාසය ගැන සඳහන් කරමින් ඔහු පැවසීය.

මෙම අවස්ථාවට ගෞරවණීය අමුත්තා ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මෙයට පෙර හිටපු සභාපති, කොතලවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ආරම්භක මහාචාර්ය වෛද්‍ය මෙන්ම ලංකා වෛද්‍ය විද්‍යාලයේ හිටපු සභාපති කායික විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර සහභාගී විය.

වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, ගුවන් හමුදාපති එයාර් මාෂල් සුමංගල ඩයස්, ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලයේ සභාපති ශල්‍ය වෛද්‍ය රියර් අද්මිරාල් සේනා රූප ජයවර්ධන, විධායක කමිටු සාමාජිකයින් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී වූහ.